ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

49. පංසුකූල වග්ග

2. බුද්ධ සඤ්ඤක ථෙරාපදානය

’’(මම) ලක්‍ෂණ ශාස්ත්‍ර ඉතිහාසයෙහිද, නිඝණ්ඩු සහිතවූ කවීන්ට හිත ක්‍රියා කල්ප විකල්ප නම්වූ කෙටුභ ශාස්ත්‍රයෙහිද, ත්‍රිවේදයෙහිද පරතෙරට ගිය මන්ත්‍ර හදාරන්නාවූ මන්ත්‍රධරයෙක් වීමි.

’’එකල්හි ගඟ සැඩ පහරක් මෙන් මාගේ සමීපයට ශිෂ්‍යයෝ එති. දිවා රෑ දෙක්හි අනලස්වූයේ ඔහුනට මම මන්ත්‍ර හදාරවමි.

’’එකෙණෙහි සිද්‍ධාර්ත්‍ථ නම් සම්බුදුරජතෙමේ ලොව පහළවිය. (මොහ නමැති) ගනඳුර නසා ඥානාලෝකය පැවැත්වූහ.

’’මාගේ එක්තරා ශිෂ්‍යයෙක් විය. හෙතෙම මාගේ සෙසු සිසුනට මෙය කීය. එකල්හි ඔවුහු මෙය අසා මට සැළකළාහුය. (කෙසේදයත්?)

’’සර්‍වඥවූ, ලෝකනායකවූ බුදුරජතෙම ලොව පහළවිය. ජනතෙමේ උන්වහන්සේට අනුවර්‍තනය වේ. අපට ලාභයක් නොවන්නේය (කියායි.)

’’මහත් යශස් ඇති, පසැස් ඇත්තාවූ බුදුවරයෝ (දිව්‍ය බ්‍රහ්මාදී කිසිවෙකුන්ගේ උපදේශ හේතු විරහිතව) ලොව පහළවන්නෝ වෙති. ලෝකනායකවූ (එම) බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ දකින්නෙම් නම් ඉතා යෙහෙකැයි (මම සිතීමි.)

’’(සිතා) මාගේ අඳුන්දිවි සමද, වැහැරි සිවුරුද, පැන්කෙණ්ඩියද ගෙන, අසපුවෙන් නික්ම, සිසුනට ඇමතීමි.

’’දිඹුල් ගස්වල මල් මෙන්ද, සඳෙහි සාවා මෙන්ද, කපුටාගේ කිරි මෙන්ද බුදුවරයෝ දුර්ලභයහ.

’’(දැන් එම) බුදුරජතෙම ලොව උපන්නේය. මිනිසත්බවද දුලබය. මෙම (බුදේ‍ධාත්පාදය - මිනිසත්බව යන) දෙකම ඇතිකල්හි සද්‍ධර්‍මශ්‍රවණය අතිශයින් දුර්ලභය.

’’බුදුරජතෙම ලොව උපන්නේය. පින්වතුනි, (අපි) අපගේ ඇස ලබමු. එව්, (අපි) සියල්ලෝම සම්බුදුරජුන්ගේ සමීපයට යන්නෙමු.

’’එකල්හි සියල්ලෝ කමඩලා (පැන්කෙණ්ඩි) දරන්නාහු, කුර සහිත අඳුන් දිවි සම් හඳින්නාහු, දළ මඩුළු බරින් බර වූවාහු වනයෙන් නික්මුනාහුය.

’’වියද්ඩු පමණ දුර බලන්නාහු, උත්තමාර්ත්‍ථයවූ නිවන සොයන්නාහු, ඇලුම් දොස් නැත්තාහු, නිර්භය කෙශර සිංහයන් වැනි වූවාහුය.

’’ස්වල්පකෘත්‍ය ඇත්තාහු, ලොල් නොවූවාහු, ප්‍රඥා ඇත්තාහු, සන්හුන් පැවතුම් ඇත්තාහු, පිණ්ඩචරියාවෙහි හැසිරෙන්නාහු ඔවුහු බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සමීපයට එළඹුනාහුය.

’’(එසේ එළඹෙන කල්හි) යොදුන් එකහමාරක් ශෙෂව (ඉතිරිව) ඇති කල්හි මාගේ (ශරීරයෙහි) ව්‍යාධියක් හටගත්තේය. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත්කොට එහිදී මම කළුරිය කෙළේ වෙමි.

’’මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි (යම්) බුද්ධ සංඥාවක් ලැබූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ සංඥාවෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධ සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

බුද්ධසඤ්ඤකත්ථෙරස්සාපදානං දුතියං.