ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

52. කුරඤ්ඡිය වග්ග

10. පදුම ධාරක ථෙරාපදානය

’’හිමවතට නුදුරෙහි රොමස නම් පර්‍වතයක් විය. එකල්හි ’’සම්භව’’ නම් බුදුරජතෙමේද එලිමහනෙහි වැඩ විසූහ.

’’මම භවනයෙන් නික්ම (අවුත්) උන්වහන්සේට පියුමක් (නෙළුම් මලක්) දරා සිටියෙමි. එක් දිනක් (එසේ) දරා සිට නැවත භවනයට ආමි.

’’මින් තිස් එක්වන කපෙහි යම් බුද්‍ධ පූජාවක් කෙළම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුම ධාරක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

පදුමධාරිකත්ථෙරස්සාපදානං දසමං.

ඵලදායකවග්ගො ද්වෙපඤ්ඤාසමො.