ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

53. තිණදායක වග්ග

1. තිණමුට්ඨි දායක ථෙරාපදානය

’’හිමවතට නුදුරෙහි ලම්බක නම් පර්‍වතයක් විය. එහි එලිමහන්හි උපතිස්ස නම් සම්බුදුරජතෙම සක්මන් කළහ.

’’මම පෙර මහ වෙනෙහි මුව වැද්දෙක් වීමි. මම ඒ දේවාති දේවවූ (බුදුරජුන්) දැක තණ මිටක් දුනිමි.

’’(එය) බුදුරජුන්හට වැඩහිඳීම සඳහා දී සිත පැහැදවීමි. සම්බුදුරජුන් වැඳ උතුරු දිගට මුහුණ ලා ගියෙමි.

’’ගිය නොබෝ වේලාවකින්ම සිංහයෙක් තෙම මා පෙළීය. මම (එම) සිංහයා විසින් හෙළන ලදුයේ එහි කළුරිය කළේ වෙමි.

’’මරණාසන්න කල්හි මා විසින් ආශ්‍රව රහිතවූ බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ විෂයයෙහි (එම) කර්‍මය කරන ලදී. මම (දුන්නේ මිදුනු) හී වේගයක් මෙන් දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.

’’පුණ්‍යකර්‍මය කරණකොටගෙන (එහි) නිර්මිතවූ විමානය ශුභ එකක් විය. දහසක් බෙදුම් (කොටස්) ඇත්තේය. සියයක් ගෝලාකාර බෙදුම් ඇත්තේය. ධජයන්ගෙන් යුක්තය. කොළවන්ය. ඤෆු 1්ර්‍‍ර8රැ%

’’උදාවූ හිරු මෙන් එම ප්‍රාසාදයාගේ පැහැය පැතිරේ. මම (එහි) දිව්‍ය කන්‍යාවන් විසින් ගැවසී ගත්තේ කැමති කැමති පරිදි සතුටුවීමි.

’’කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ, දෙව්ලොවින් චුතව මිනිසත් බවට පැමිණ ආශ්‍රවක්‍ෂයට පැමිණියේ වෙමි.

’’මින් සිව් අනූවන කපෙහි මම නිසීදනයක් (අතුරා හිඳුමට තණ මිටක්) දුනිමි. (ඒ හේතුවෙන්) මම දුගතියක් නොදනිමි. තණ මිටක් දීමෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණමුට්ඨිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

තිණමුට්ඨිදායකත්ථෙරස්සාපදානං පඨමං.