අංගුත්තර නිකාය

එක නිපාතය

11. සම්බොධි වර්ගය

112. තතිය කම්මනිදාන සූත්‍රය

“මහණෙනි, කර්ම රැස් කිරීම පිණිස මේ හෙතු තුනකි. කවර තුනක්ද? මහණෙනි, ඡන්ද රාගය ඇතිවීමට හෙතුවූ අතීත කරුණු පිළිබඳව ඡන්දරාගය උපදියි. ඡන්ද රාගය ඇතිවීමට හෙතුවූ අනාගත කරුණු පිළිබඳව ඡන්දරාගය උපදියි. ඡන්ද රාගය ඇතිවීමට හෙතුවූ වර්තමාන කරුණු පිළිබඳව ඡන්දරාගය උපදියි.

“මහණෙනි, කෙසේ නම් ඡන්ද රාගය ඇතිවීමට හෙතුවූ අතීත කරුණු පිළිබඳව ඡන්ද රාගය උපදියිද? මහණෙනි, ඡන්ද රාගය ඇතිවීමට හෙතුවූ අතීත කරුණු අරබයා සිතින් ඒ අනුව කල්පනා කරයි. ඒ අනුව සිත හසුරුවයි. ඡන්ද රාගය ඇතිවීමට හෙතුවූ ඒ අතීත කරුණු අරබයා සිතින් ඒ අනුව කල්පනා කරන්නාවූ ඒ අනුව සිත හසුරු වන්නාවූ ඔහුට ඡන්දය (ආශාව) උපදියි. උපන්නේ ඒ ධර්මයන් සමග බැඳුණේ වෙයි. මහණෙනි, චිත්තයාගේ යම් ඇලීමක් වෙයිද එය මම සංයෝජන (රැහැණ) යයි කියමි. මහණෙනි, මෙසේ වනාහි ඡන්ද රාගය ඇතිවීමට හෙතුවූ අතීත කරුණු පිළිබඳව ඡන්දය ඇතිවෙයි.

“මහණෙනි, කෙසේනම් ඡන්දරාගය ඇතිවීමට හෙතුවූ අනාගත කරුණු පිළිබඳව ඡන්දරාගය උපදියිද? මහණෙනි, ඒ ඡන්දරාගය ඇතිවීමට හෙතුවූ අනාගත කරුණු අරබයා සිතින් ඒ අනුව කල්පනා කරයි. ඒ අනුව සිත හසුරුවයි. ඡන්ද රාගය ඇතිවීමට හෙතුවූ අනාගත කරුණු අරබයා ඒ අනුව සිතින් කල්පනා කරන්නාවූ ඒ අනුව සිත හසුරුවන්නාවූ ඔහුට ඡන්දය උපදියි. ඡන්දය උපන්නේ ඒ ධර්මයන් හා බැඳුණේ වෙයි. චිත්තයාගේ යම් ඇලීමක් වෙයිද එය මම සංයොජනයයි කියමි. මහණෙනි, මෙසේ වනාහි ඡන්දරාගය ඇතිවීමට හෙතුවූ අනාගත කර්මයන් කෙරෙහි ඡන්දය උපදියි.

“මහණෙනි, කෙසේ නම් ඡන්ද රාගය ඇතිවීමට හෙතුවූ වර්තමාන ධර්මයන් අරබයා ඡන්ද රාගය උපදියිද? මහණෙනි, ඡන්දරාගය ඇතිවීමට හෙතුවූ වර්තමාන ධර්මයන් අරබයා සිතින් ඒ අනුව කල්පනා කරයිද ඒ අනුව සිත හසුරුවයිද ඡන්දරාගය ඇතිවීමට හෙතුවූ වර්තමාන ධර්මයන් අරබයා සිතින් ඒ අනුව කල්පනා කරන්නාවූ ඒ අනුව සිත හසුරුවන්නාවූ ඔහුට ඡන්දය උපදියි.

“ඡන්දය උපන්නේ ඒ ධර්මයන් හා බැඳුණේ වෙයි. චිත්තයාගේ යම් ඇලීමක් වෙයිද මහණෙනි, මම එය සංයෝජනයයි කියමි. මහණෙනි, මෙසේ වනාහි ඡන්දය රාගය

ඇති වීමට හෙතුවූ වර්තමාන ධර්මයන් අරබයා ඡන්දය උපදියි. මහණෙනි, මේ තුන කර්මයන්ගේ රැස්වීමට හෙතු වෙත්.”

10. චතුත්ථ කම්ම නිදාන සූත්‍රය

“මහණෙනි කර්ම රැස් කිරීම පිණිස මේ හේතු තුනකි. කවර තුනක්ද? මහණෙනි, ඡන්ද රාගය ඇතිවීමට හෙතුවූ අතීත කරුණු පිළිබඳව ඡන්ද රාගය නූපදියි. ඡන්ද රාගය ඇතිවීමට හේතුවූ අනාගත කරුණු පිළිබඳව ඡන්දරාගය නූපදියි. ඡන්ද රාගය ඇතිවීමට හෙතුවූ වර්තමාන පිළිබඳව ඡන්දය රාගය නූපදී.

“මහණෙනි, කෙසේ නම් ඡන්දරාගය ඇතිවීමට හෙතුවූ අතීත කරුණු පිළිබඳව ඡන්ද රාගය නූපදීද.

“මහණෙනි, ඡන්දරාගය ඇතිවීමට හෙතුවූ අතීත කරුණු පිළිබඳව මත්තෙහි විපාකය දනී, මත්තෙහි විපාකය දැන එය බැහැර කරයි. බැහැරකොට සිතින් අත්හැර මාර්ගඥානයෙන් විනිවිද දකී.

“මහණෙනි, මෙසේ වනාහි ඡන්දරාගය ඇතිවීමට හෙතුවූ අතීත කරුණු නිසා ඡන්ද රාගය නූපදී.

“මහණෙනි, කෙසේ වනාහි ඡන්දරාගය ඉපදීමට හෙතුවූ අනාගත කරුණු පිළිබඳව ඡන්දරාගය නූපදීද.

“මහණෙනි, ඡන්දරාගය ඉපදීමට හෙතුවූ අනාගත කරුණු පිළිබඳව මත්තෙහි විපාකය දනී. මත්තෙහි විපාකය දැන එය බැහැර කරයි. බැහැරකොට සිතින් අත්හැර මාර්ගඥානයෙන් විනිවිද දකී. මහණෙනි, මෙසේ වනාහි ඡන්දරාගය ඉපදීමට හෙතුවූ අනාගත කරුණු පිළිබඳව ඡන්දරාගය නූපදී.

“මහණෙනි, කෙසේ නම් ඡන්දරාගය ඉපදීමට හෙතුවූ වර්තමාන කරුණු පිළිබඳව ඡන්දරාගය නූපදීද, මහණෙනි, ඡන්දරාගය ඉපදීමට හෙතුවූ වර්තමාන කරුණු පිළිබඳව මත්තෙහි විපාකය දනී. මත්තෙහි විපාකය දැන එය බැහැර කරයි. බැහැරකොට සිතින් අත්හැර මාර්ග ඥානයෙන් විනිවිද දකී.

“මහණෙනි, මෙසේ වනාහි ඡන්දරාගය ඉපදීමට හෙතුවූ වර්තමාන කරුණු පිළිබඳව ඡන්දරාගය නූපදී.

“මහණෙනි, කර්ම රැස්කිරීම පිණිස මේ තුන හෙතුවේයයි” වදාළසේක.

(එකොළොස්වෙනි සම්බොධි වර්ගය නිමි.)