අංගුත්තර නිකාය

එක නිපාතය

6. බ්‍රාහ්මණ වර්ගය

58. තිකණ්ණ සූත්‍රය

එකල්හි තිකණ්ණ නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙක්ද එහි පැමිණියේය පැමිණ භාග්‍යවතුන්වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එක් පසෙක හුන්නාවූ තිකණ්ණ නම් බමුණුතෙම වනාහි භාග්‍යවතුන්වහන්සේ ඉදිරියෙහි ත්‍රිවේදය දන්නාවූ බමුණාගේ ගුණ කියයි. ත්‍රිවේදය දන්නාවූ බමුණෝ මෙසේත් පණ්ඩිතයහ. ත්‍රිවේදය දන්නාවූ බ්‍රාහ්මණයෝ මෙසේත් බහුශ්‍රැතයහ.” කියායි

(i) “බ්‍රාහ්මණය, බ්‍රාහ්මණයකු ත්‍රිවිද්‍යා දන්නෙකැයි කෙසේ නම් පනවද්ද” 2. (ii) “භවත් ගෞතමයන් වහන්ස, මෙහි බමුණුතෙම මව් පසින්ද පිය පසින්ද (යන) දෙපසින් මොනවට උපන්නේ වේද. සුපිරිසිදු මව්කුස ඇත්තේවේද, හත්වෙනි මුතුන් පරම්පරාව දක්වා ජාතිවාදයෙන් (හෙවත්) මේ තෙම හීන ජාතියෙකැයි යන වචනයෙන් අත්හැර නොදමන ලද්දේ වේද, ආක්‍රොෂ නොකරණ ලද්දේ වේද, වේදමන්ත්‍ර හදාරන්නේවේද, වේදමන්ත්‍ර දරන්නේ වේද ක්‍රියා, කල්ප විකල්ප සහිතවූ ‘අක්ෂර ප්‍රභේද සහිතවූ (හෙවත්) ශික්ෂා නිරුක්ති ශාස්ත්‍ර සහිතවූ ඉතිහාසය පස්වෙනිකොට ඇත්තාවූ ත්‍රිවේදයෙහි පරතෙරට පැමිණියේ වේද පද හදාරන්නේ වේද ව්‍යාකරණ දන්නේවේද විතණ්ඩවාද ශාස්ත්‍ර ලක්ඛණ දීපන ශාස්ත්‍රයන්ගෙන් සම්පූර්ණ වේද, භවත් ගෞතමයන්වහන්ස, බමුණෝ මෙසේ වනාහි, ත්‍රිවිද්‍යා දත් බ්‍රාහ්මණයා පණවත්යයි” කීයේය.

(i) “බමුණ, බමුණෝ ත්‍රිවිද්‍යා දත් බ්‍රාහ්මණයා අන් ආකාරයකින් පනවත්. ආර්‍ය්‍ය විනයෙහි අන් ආකාරයකින් ත්‍රිවිද්‍යා ඇත්තෙක් වේයයි” වදාළේය.

(ii) “භවත් ගෞතමයන් වහන්ස, කෙසේනම් ආර්‍ය්‍ය විනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තෙක් වේද එසේ මට භවත් ගෞතම තෙමේ ධර්මදේශනා කරණසේක් නම් මැනවැයි” කීය.

(iii) ‘බමුණ, එසේ නම් අසව, යහපත්ව මෙනෙහි කරව, කියන්නෙමි”යි වදාළසේක “පින්වතුන් වහන්ස, එසේය”යි තිකණ්ණ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මේ වදාළසේක. “බමුණ, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති සිත හා එකට පහළවූ විතර්ක නැති විචාර නැති සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය පහව යාමෙන් උපෙක්ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ කයින් සැපක් විඳියි. උපෙක්ෂා ඇති සිත් ඇති සැප විහරණයකැයි’ යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැපදුක් දෙක නැතිවීමෙන් සොම්නස දොම්නස දෙක අස්තවීමට පෙරම දුක් නැති සැප නැති උපෙක්ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.

(iv) හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණිකල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි මොළොක්වූ කල්හි කර්මණ්‍යව සිටි කල්හි ස්ථිරවූ කල්හි, පෙරවිසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්ධ සිහිකරයි. ඒ කෙසේද?

“එක් ජාතියක්ද ජාති දෙකක්ද ජාති තුනක්ද ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් නැසෙන කල්පයන්ද, නොයෙක් වැඩෙන කල්පයන්ද නොයෙක් නැසෙන හා වැඩෙන කල්පයන්ද සිහිකෙරෙයි. (කෙසේද) ‘මම අසවල් තැන උපන්නෙම්.

‘මෙබඳු නම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් ‘වීමි. මෙබඳු ආයුෂයක් කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුත වූයෙමි. අසවල් තැන උපනිමි.

“එහිද (මෙහි මේ සූත්‍රයේ 5 ඡෙදය යෙදිය යුතුයි.) ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙක් වෙමියි, මෙසේ ආකාර සහිතවූ නාම ගෝත්‍ර වශයෙන් දැක්වීම් සහිතවූ නොයෙක් පෙර විසූ ස්කන්ධයන් සිහිකෙරෙයි. ඔහු විසින් මේ පළමුවෙනි විද්‍යාව ලදී.

“අවිද්‍යාව නසනලදී. විද්‍යාව උපන්නීය අන්ධකාරය නසනලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, හරණලද ආත්ම ආශාව ඇතිව වාසය කරන්නහුට යම්සේ නම් එසේයි. (මෙහි මේ සූත්‍රයේ 3 (iv) ඡෙදය යෙදිය යුතුයි.) මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්වයින් දකී. සත්වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිතනමයි.

හෙතෙම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්ම පවත්නාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීත වූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කම්වූ පරිද්දෙන් පැමිණියාවූ සත්වයන් දැනගණී. කෙසේද?

“පින්වත්නි, මේ සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාග් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, බුද්ධාදී ආර්‍ය්‍යයන්ට උපවාද කරන්නේය. මිථ්‍යාදෘෂ්ටීකයෝය. මිසදිටුකම් සමාදන් වන්නෝය. ඔව්හු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ දුර්ගති නම්වූ විනාශව වැටෙන්නාවූ නිරයෙහි උපන්නාහුය. පින්වත්නි, මේ සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්ත වූවාහු, මනෝ සුචරිතයෙන් යුක්ත වූවාහු බුද්ධාදී ආර්‍ය්‍යයන්ට උපවාද (ගර්හා) නොකරන්නාහුය. කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්ත වූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, සම්‍යක්දෘෂ්ටි ඇත්තාහුය. සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන්වන්නාහුය. ඔව්හු කායයාගේ බිඳීමෙන් මරණින් පසු මනාගති ඇත්තාවූ සැපතින් ස්වර්ග ලෝකයෙහි උපන්නාහු කියායි. මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුතවන්නාවූද උපදින්නාවූද, හීනවූද, උසස්වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්වයන් දැනගනිත්. ඔහු විසින් මේ දෙවෙනි විද්‍යාවලදී

(මෙහි මේ සූත්‍රයේ 7 ඡෙදය යෙදිය යුතුයි. එහිද ‘චුතී උත්පත්තියන්ට’ ‘ආශ්‍රවක්ෂය’ කියාද යෙදිය යුතුයි) මේ දුකයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ දුක් ඇතිවීමේ හේතුවයයි තත්වූපරිදි දැනගනිත්. මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිදි දැනගනී. මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තත්වූ පරිදි දැනගනී.

මේ ආශ්‍රවයෝයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ නැතිවීමයයි තත්වූ පරිද්දෙන් දනී. මේ ආශ්‍රවයන් නැතිකිරීමට යන ප්‍රතිපදාව (මාර්ගයයි තත්වූ පරිද්දෙන් දනී මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඔහුගේ සිත කාම නැමැති කෙලෙසුන්ගෙන් මිදෙයි, භව නැමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. අවිද්‍යා නැමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන නුවණවේ. ඉපදීම ක්ෂයවිය, බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදී. මත්තට යමක් නැතැයි දනී. ඔහු විසින් මේ තුන්වෙනි විද්‍යාව ලබන ලද්දීය. (මෙහි මේ සූත්‍රයේ 6 ඡෙදයේ ‘අවිද්‍යා’ යන තැන සිට ‘එසේය’ යන්නට යෙදිය යුතුයි)

(1) “උසස් පහත් වන ස්වභාවයක් නැති ශීලයෙන් යුක්තවූද ප්‍රඥාවෙන් යුක්තවූද ධ්‍යාන ඇත්තාවූද, යම් ක්ෂීණාශ්‍රව පුද්ගලයෙකුගේ සිත වශීභාවප්‍රාප්ත වූයේද එකඟවූයේද, අරමුණෙහි මොනවට පිහිටියේවේද.

(2) “ක්ලෙශාන්ධකාරය නැසුවාවූ වීර්‍ය්‍යයෙන් යුත් මාරයා නැසුවාවූ දෙවිමිනිසුන්ට හිත වූ සියළු පව් දුරු කළාවූ ඒ පුද්ගලයා ත්‍රිවිද්‍යාවෙන් යුක්තයයි කීහු.

(3) “ඒ ත්‍රිවිද්‍යාවෙන් යුක්තවූ නොමුළාව වාසය කරන්නාවූ චතුස්සත්‍යය අවබොධ කළාවූ අන්තිම ශරීරය දරන්නාවූ ගෞතම බුදුන්ගේ ශ්‍රාවක රහත්හු වඳිත්.

(4) “යම් ක්ෂීණාශ්‍රවයෙක් තෙම පෙර විසූ කඳ පිළිවෙළ දන්නේද ස්වර්ගය හා අපාය දක්නේද තවද මනාව අවබොධකොට කටයුතු නිමවූයේ ජාතිය ක්ෂය කිරීමෙන් අර්හත් ඵලයට පැමිණියේද.

(5) “මේ ත්‍රිවිද්‍යාවෙන් බ්‍රාහ්මණතෙම ත්‍රිවිද්‍යා ඇත්තේ ඔහු මේ ත්‍රිවිද්‍යා ඇත්තේයයි කියමි. අන්‍යයන් විසින් කියන ලද වචන මාත්‍රයක් ඇති අනිකෙකු ත්‍රිවිද්‍යා ඇත්තෙකැයි නොකියමි. බමුණ, මෙසේ වනාහි ආර්‍ය්‍ය විනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තෙක්වේයයි” වදාළේය.

“භවත් ගෞතමයන්වහන්ස අන්පරිද්දකින් බමුණන්ගේ ත්‍රිවිද්‍යාඇත්තෙක් වෙයි. ආර්‍ය්‍ය ජනයෙහි අන් පරිද්දෙකින් ත්‍රිවිද්‍යා ඇත්තෙක් වෙයි. භවත් ගෞතමයන් වහන්ස, ආර්‍ය්‍යවනයෙහි ත්‍රිවිද්‍යා ඇත්තා හා බමුණන්ගේ ත්‍රිවිද්‍යා ඇත්තා සොළොස්වන කලාවෙන් කලාවකුදු නොඅගියි.

(මේ ඡෙදය මේ වර්ගයේ 3 සූත්‍රයේ 14 ඡෙදය මෙනි.)