අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
3. උරුවෙල වර්‍ගය
10. සප්පීනියා තීර සූත්‍රය
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්‍වතයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි බොහෝ ප්‍රසිද්‍ධ ප්‍රසිද්‍ධ පරිබ්‍රාජකයෝ සප්පීනියා ගං ඉවුරෙහි පරිබ්‍රාජකාරාමයෙහි වාසය කරත්. ඒ කවරහුද? අන්තභාර පරිබ්‍රාජකයාද, වරධර පරිබ්‍රාජකයාද, සකුළුදායී පරිබ්‍රාජකයාද, අනිකුත් ප්‍රසිද්‍ධ ප්‍රසිද්‍ධ පරිබ්‍රාජකයෝද වෙත්,
’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමවතින් නැඟී සිටි සේක්, සප්පීනියා තොට පරිබ්‍රාජකාරාමය යම් තැනෙක්හිද, එහි වැඩි සේක. වැඩ පණවන ලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ, ඒ පරිබ්‍රාජකයන්ට මේ කරුණු වදාළ සේක.
’’පරිබ්‍රාජකවරුනි, අග්‍රයයි දතයුතු, පැරණිවූ වංශයයයි දතයුතුවූ, අළුත් දෙයක් නොවූ බැහැර නොකරත්ද, පෙර බුදුවරයන් විසිනුදු බැහැර නොකළාහුද, දැනුදු අත් නොහරිත්. අනාගතයෙහිත් බැහැර නොකරන්නාහුය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලද මේ ධර්‍ම කොට්ඨාස සතරක් වෙත්. කවර සතරක්ද යත්.
’’පරිබ්‍රාජකවරුනි, අනභිද්‍යාව (අලොභය) යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුය.
’’පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.
’’පරිබ්‍රාජකවරුනි, අව්‍යාපාද යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුයි.
’’පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.
’’පරිබ්‍රාජකවරුනි, සම්මාසති යන ධම්ම පදය අග්‍රයයි දත යුතුයි.
’’පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.
’’පරිබ්‍රාජකවරුනි, සම්මා සමාධි යන ධර්‍ම පදය අග්‍රයයි දත යුතුයි.
’’පැරණියයි දත යුතුය. වංශයයයි දත යුතුය. අළුත් දෙයක් නොවේ. බැහැර නොකට යුතුය. අත් නොහරින ලදී. දැනුදු අත් නොහරියි. මත්තෙහිද අත් නොහරින්නේය. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද, නුවණැත්තන් විසින්ද ගර්‍හා නොකරණ ලදී.
’’පරිබ්‍රාජකයෙනි, යමෙක් ’මම මේ අනභිද්‍යා ධර්ම පදය ප්‍රතික්‍ෂෙප කොට අභිජ්ඣා බහුලවූ කාමයන්හි තියුණු රාග ඇති, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නෙමි’ යි මෙසේ කියන්නේ නම්, මම ඔහුට ඒ වචනයේදී ඒවා කියවා ප්‍රකාශ කෙරේවා, ඔහුගේ ආනුභාවය බලමි’ යි මෙසේ කියන්නෙමි. ’පරිබ්‍රාජකයෙනි, හෙතෙමේ ඒකාන්තයෙන් අනභිධ්‍යා ධර්‍ම පදය ප්‍රතික්‍ෂෙප කොට, අභිද්‍යා බහුලකොට ඇති, කාමයන්හි තියුණු රාග ඇති, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නේය යන මීට හේතු නැත්තේය.
’’පරිබ්‍රාජකයෙනි, යමෙක් ’මම මේ අව්‍යාපාද ධර්‍ම පදය ප්‍රතික්‍ෂෙප කොට ව්‍යාපාද සිත් ඇති, දූෂ්‍යවූ සිත් ඇති ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නෙමි’ යි මෙසේ කියන්නේ නම්, ඒ මම එහි ඔහුට ’ඒවා කියවා ප්‍රකාශ කෙරේවා, ඔහුගේ ආනුභාවය දකිමි’ යි මෙසේ කියන්නෙමි. ’පරිබ්‍රාජකයෙනි, හෙතෙම ඒකාන්තයෙන් අව්‍යාපාද ධර්‍ම පදය ප්‍රතික්‍ෂෙප කොට, ව්‍යාපාද සිත් ඇති, දූෂ්‍යවූ සිත් ඇති ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නේය යන මීට හේතු නැත.
’’පරිබ්‍රාජකයෙනි, යමෙක් ’මම මේ සම්මා සති ධර්‍ම පදය ප්‍රතික්‍ෂෙප කොට මුළා සිහි ඇති, සම්‍යක් ප්‍රඥාව නැති, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නෙමි’ යි මෙසේ කියන්නේ නම්, ඒ මම එහි ඔහුට ’ඒවා කියවා ප්‍රකාශ කෙරේවා, ඔහුගේ ආනුභාවය දනිමි’ යි මෙසේ කියන්නෙමි. ’පරිබ්‍රාජකයෙනි, හෙතෙම ඒකාන්තයෙන් සම්මා සති ධර්‍ම පදය ප්‍රතික්‍ෂෙප කොට, මුළා සිහි ඇති, සම්‍යක් ප්‍රඥා නැති, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නේය යන මීට හේතු නැත්තේය.’’.
’’පරිබ්‍රාජකයෙනි, යමෙක් ’මම මේ සම්මා සමාධි ධම්ම පදය අත්හැර සමාධිගත නුවූ සිත් ඇති, විසුරුණු සිත් ඇති, අනික් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නෙමි’ යි මෙසේ කියන්නේ මම ඔහුට එහිදී ’ඒවා කියවා ප්‍රකාශ කෙරේවා, ඔහුගේ ආනුභාවය දකිමි’ යි මෙසේ කියන්නේය. ’පරිබ්‍රාජකයෙනි, හෙතෙමේ ඒකාන්තයෙන් සම්මා සමාධි ධර්ම පදය ප්‍රතික්‍ෂෙප කොට, අසමාහිතවූ, විසුරුණු සිත් ඇත්තාවූ, ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පනවන්නේය යන මීට හේතු නැත්තේය. පරිබ්‍රාජකයෙනි, යමෙක් මේ ධර්ම පද සතර ගරහිය යුතුයයි, ප්‍රතික්‍ෂෙප කළ යුතුයයි සිතන්නේද, ඔහුට මෙලොවම කරුණු සහිතව ගැරහිය යුතු තැනම වාද සතරක් පැමිණෙත්. කවර සතර දෙනෙක්ද යත්.
’’ඉදින් පින්වත් තෙමේ අනභිද්‍යා ධම්මපදයට ගරහන්නේද, ආක්‍රොශ කරන්නේද, අභිජ්ඣා බහුලකොට ඇති, කාමයන්හි තියුණුවූ රාග ඇති, යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද, ඔහු පින්වත්හුගේ පිදිය යුත්තෝය. ඔවුහු පින්වතාගේ ප්‍රශංසා කටයුත්තෝය. ඉදින් පින්වත් තෙම අව්‍යාපාද ධර්‍මපදයට ගර්හා කරයිද, ආක්‍රොශ කෙරේද, ව්‍යාපාද සිත් ඇති, දූෂ්‍යවූ සිත් ඇති, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද, ඔවුහු පින්වතාගේ පිදිය යුත්තෝය. ඔවුහු පින්වතාගේ ප්‍රශංසා කටයුත්තෝය. පින්වත, ඉදින් සම්මා සති ධම්මපදයටද ගරහයිද, ආක්‍රොශ කරයිද, මුලා සිහි ඇති, සම්‍යක් ප්‍රඥාව නැති, යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද, ඔවුහු පින්වතාගේ පිදිය යුත්තෝය. ඔවුහු පින්වතාගේ ප්‍රශංසා කටයුත්තෝය. ඉදින් සම්මාසමාධි ධම්මපදයට ගරහයිද, ආක්‍රොශ කරයිද, සමාහිත සිත් නැති, විසුරුණු සිත් ඇති, යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද, ඔවුහු පින්වත්හුගේ පිදිය යුත්තෝය. ඔවුහු පින්වත්හුගේ ප්‍රශංසා කටය්‍රත්තෝය. (යනුයි.)
’’පරිබ්‍රාජකයෙනි, යමෙක් මේ ධර්‍මපද සතර ගැරහිය යුතුකොට, ප්‍රතික්‍ෂෙප කළයුතු කොට සිතන්නේද, ඔහුට මෙලොවම කරුණු සහිත, ගැරහිය යුතු වාදයෝ සතර දෙනෙක් පැමිණෙත්. පරිබ්‍රාජකයෙනි, යමෙක් අහෙතුක වාද ඇති, අකිරිය වාද ඇති, නාස්තික වාද ඇති, උක්කල ජනපදවාසී වස්ස, භඤ්ඤ යන දෙදෙනෙක් වූවාහුද, ඔවුහුද මේ ධර්ම පද සතර නොගැරහිය යුතුකොට, ප්‍රතික්‍ෂෙප නොකළයුතුකොට සිතුවාහුය. ඊට හේතු කවරේද? නින්‍දා භය නිසාය සහ උපවාද භය නිසාය.
’’හැමකල්හි ව්‍යාපාද නැත්තේ, සිහි ඇත්තේ, අධ්‍යාත්මයෙහි මනා සමාධියෙන් යුක්තවූයේ, අභිජ්ඣා විනය නම් අර්හත්‍වයෙහි හික්මෙන්නේ අප්‍රමත්තයයි කියනු ලැබේ.’’
තුන්වෙනි උරුවෙල වර්‍ගය නිමි.