අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
4. සතරවැනි පණ්ණාසකය
(20) 5. බ්‍රාහ්මණ වර්‍ගය (සොණ වර්‍ගය)
4. කාරනපාල සූත්‍රය
’’එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර මහවන වෙහෙර කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි කාරණපාළී නම් බ්‍රාහ්මණතෙම ලිච්ඡවි රජුන්ගේ කර්‍මාන්තයක් කරයි. කාරණපාළී නම් බ්‍රාහ්මණතෙම, පිංගියානි නම් බ්‍රාහ්මණයා එන්නහු දුරදීම දුටුයේය. දැක පිංගියානි නම් බ්‍රාහ්මණයාට මෙය කීයේය. ’එබැවින් භවත් පිංගියානි තෙමේ මධ්‍යාහ්ණයෙහි කොහි සිට එන්නේද?’
’’පින්වත, මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි සිට එමි’’ යි. ’’භවත් පිංගියානි තෙමේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාපටුත්‍වය ඒ කුමකැයි හඟීද? පණ්ඩිතයෙකැයි සිතන්නේද?’’
’’පින්වත, මම කවරෙක්ද? කවරෙක් නම් වෙම්ද ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ප්‍රඥාපටුත්‍වය කවරෙක් නම් දන්නෙම්ද? යමෙක් තෙම ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ප්‍රඥාපටුත්‍වය දන්නේනම් හෙතෙමේද ඒකාන්තයෙන් එබන්දෙක්ම වන්නේය.
’’භවත් පිංගියානි තෙමේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේට මහත්වූම ප්‍රශංසාවකින් ප්‍රශංසා කෙරේයයි’’
’’පින්වත, මම කවරෙක්ද, කෙබඳුවූ නම් මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේට ප්‍රශංසා කරන්නෙම්ද. ඒ භවත් ගෞතම තෙමේ පසස්නාලද්දවුන් විසිනුත් පසස්නා ලද්දාවූම දෙවි මිනිසුන්ට ාශ්‍රෂ්ඨ වේය.’’
’’භවත් පිංගියානි තෙමේ ශ්‍රමණ භවත් ගෞතමයන් කෙරෙහි කිනම් කරුණක් දකිමින් මෙසේ විශෙෂයෙන් පැහැදුනේද?’’
’’පින්වත, යම්සේ පුරුෂයෙක් තෙම උතුම්වූ රසයෙන් ඉතා තෘප්තියට පැමිණියේ අන්‍යවූ, ලාමකවූ රසයන් නොකැමැතිවේද, පින්වත, මෙපරිද්දෙන්ම යම් යම් තැනකින් ඒ භවත් ගෞතමයන් වහන්සෙගේ ධර්‍මය අසයිද, සූත්‍ර වශයෙන් හෝ ගෙය්‍ය වශයෙන් හෝ, වෙය්‍යාකරණ වශයෙන් හෝ, අද්භූත ධර්‍ම වශයෙන් හෝ, ඒ ඒ තැනින් අන්‍යවූ බොහෝ මහණ බමුණන්ගේ වාදයන්ට නොකැමැති වෙයි. පින්වත, යම්සේ පුරුෂතෙම බඩසයින්වූ දුර්‍වල බැවින් පෙළුනේ, මී පිඬුවක් ලබන්නේද, හෙතෙම යම් යම් තැනකින් රස විඳින්නේද, අන් රසයකින්ද මිශ්‍රවූ මිහිරි රසයම ලබාද, පින්වත, මෙපරිද්දෙන්ම යම් යම් තැනින් ඒ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ධර්‍මය අසයිද, සූත්‍ර වශයෙන් හෝ ගෙය්‍ය වශයෙන් හෝ, වෙය්‍යාකරණ වශයෙන් හෝ, අද්භූත ධර්‍ම වශයෙන් හෝ, ඒ ඒ තැනින් සතුට ඇති බව ලබාමය. චිත්තයාගේ ප්‍රසාදය ලබාමය.
’’පින්වත, යම්සේ පුරුෂයෙක් තෙම රන්වන් සඳුන් හෝ, රත් සඳුන් හෝ, සඳුන් ගැටයක් ලබන්නේද, හෙතෙම යම් යම් තැනකින් ආඝ්‍රාණය කරන්නේද, මුලින් හෝ මැදින් හෝ කෙළවරින් හෝ අන් සුවඳකින් මිශ්‍ර නොවූ යහපත් සුවඳම ලබාද. මෙපරිද්දෙන්ම යම් යම් තැනකින් ඒ භවත් ගෞතමයන්ගේ ධර්‍මය අසාද, සූත්‍ර වශයෙන් හෝ ගෙය්‍ය වශයෙන් හෝ, වෙය්‍යාකරණ වශයෙන් හෝ, අද්භූත ධර්‍ම වශයෙන් හෝ, ඒ ඒ තැනින් ප්‍රමුදිත භාවය ලබයි. සතුට ලබයි.
’’පින්වත, යම්සේ පුරුෂයෙක් හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේ, දැඩි ගිලන් වේද, දක්‍ෂවූ වෙදෙක් ස්ථාන වශයෙන් ඔහුගේ ආබාධය දුරුකරන්නේද, පින්වත, මෙපරිද්දෙන්ම යම් යම් තැනකින් ඒ භවත් ගෞතමයන්ගේ ධර්‍මය අසාද, සූත්‍ර වශයෙන් හෝ ගෙය්‍ය වශයෙන් හෝ, වෙය්‍යාකරණ වශයෙන් හෝ, අද්භූත ධර්‍ම වශයෙන් හෝ, ඒ ඒ තැනින් ශොක, පරිදේව. දුක්. දොම්නස්, උපායාසයෝ නැසීමට යෙත්.
’’පින්වත, යම්සේ නිර්මල ජලය ඇති, මිහිරි ජලය ඇති, සිහිල් ජලය ඇති, සුදු පැහැ ඇති, මනාකොට ඇති සිත්කළු පොකුණක් වේද, ඉක්බිති ග්‍රීෂ්මයෙන් තැවුනාවූ, ග්‍රීෂ්මයෙන් පෙළුනාවූ, ක්ලාන්තවූ, හටගත් තෘෂ්ණා ඇත්තාවූ. පැන්බොනු කැමතිවූ පුරුෂයෙක් එන්නේද, හෙතෙම ඒ පොකුණට බැස ස්නානය කොටද. පානය කොටද සියලු වෙහෙස, මහන්සි. දැවිලි සංසිඳවා ගන්නේද, පින්වත මෙපරිද්දෙන්ම යම් යම් තැනකින් ඒ භවත් ගෞතමයන්ගේ ධර්‍මය අසාද, සූත්‍ර වශයෙන් හෝ ගෙය්‍ය වශයෙන් හෝ, වෙය්‍යාකරණ වශයෙන් හෝ, අද්භූත ධර්‍ම වශයෙන් හෝ, ඒ ඒ තැනින් සියලු ක්ලෙශදරථ කෙලෙස් දැවිල්ලෙන් සංසිඳෙත්ය’’ යි කීයේය.
’’මෙසේ කී කල්හි කාරණපාළී නම් බ්‍රාහ්මණ තෙම හුනස්නෙන් නැගිට උතුරු සළුව ඒකාංශකොට දකුණු දණ මඬල බිම හැනගෙණ භාග්‍යවතුන් වහන්සේ යම් දිශාවෙක්හිද, ඒ දිශාවට ඇඳිලි බැඳගෙණ තුන්වරක් ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කෙළේය. ’ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේට නමස්කාර වේවා, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේට නමස්කාර වේවා, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේට නමස්කාර වේවයි.
’’භවත් පිංගියානිය, ඉතා යහපත, භවත් පිංගියානිය, ඉතා යහපත, භවත් පිංගියානිය, යම් සේ යටිකුරුකොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, වසන ලද්දක් විවෘත කරන්නේ හෝ වේද, මංමුලා වූවෙකුට මග කියන්නේ හෝ වේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අන්‍ධකාරයෙහි තෙල් පහණක් දල්වන්නේ හෝ වේද, මෙපරිද්දෙන්ම භවත් පිංගියානි විසින් නොයෙක් ආකාරයෙන් ධර්‍මය ප්‍රකාශ කරණ ලදී. භවත් පිංගියානිය, ඒ මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංඝයාද සරණකොට යමි. භවත් පිංගියානි තෙම මා අද පවන් දිවි හිමියෙන් සරණ ගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වා’’ යි කීයේය.