අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(23) 3. දීඝ චාරිකා වර්‍ගය

1. පඨම දීඝචාරිකා සූත්‍රය

’’මහණෙනි, අවස්ථාවට සුදුසු නොවූ දීර්ඝ චාරිකාවෙහි යුක්තව වාසය කරන්නහුට මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්? නොඅසන ලද්ද නොඅසයි. අසනලද්ද පිරිසිදු නොකෙරෙයි. අසනලද ඇතමකින් විශාරද නොවෙයි. දැඩිවූ රෝගාබාධයක් ස්පර්‍ශ කරයි. මිත්‍රයන් ඇත්තෙක්ද නොවේ. යන පසයි. මහණෙනි, මොහු වනාහි දික්වූ හැසිරීමෙහි, අනියම් හැසිරීමෙහි යෙදී වාසය කරන්නහුගේ දෝෂ පස වෙත්.

’’මහණෙනි, නියමවූ හැසිරීමෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්, නොඅසන ලද්ද අසයි. ඇසූ දෙය පිරිසිදු කරයි. අසන ලද සමහරකින් විශාරද වේ. දැඩිවූ රෝගාබාධය ස්පර්‍ශ නොකරයි. මිත්‍රයන් ඇත්තේද වෙයි. යන පසයි.