අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
1. පඨම පණ්ණාසකය
5. මුණ්ඩරාජ වර්‍ගය
7. පඤ්ච ධන සූත්‍රය
’’මහණෙනි, මේ ධන පසක් වෙත්. කවර පසක්ද යත්? ශ්‍රද්‍ධා ධනය, ශීල ධනය, ශ්‍රුත ධනය, ත්‍යාග ධනය, ප්‍රඥා ධනය, යන පසයි.
’’මහණෙනි, ශ්‍රද්‍ධා ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ශ්‍රද්‍ධා ඇත්තේ වේද, ඒ භාග්‍යවත්තෙම මේ කාරණයෙන්ද අර්හත් සම්‍යක් සම්බුද්‍ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, උතුම්වූ පුරුෂයන් හික්මවීමේ රියැදුරෙක, දෙවි මිනිසුන්ට ශාස්තෲය, චතුස්සත්‍යාවබෝධ කෙළේය, භාග්‍යවත්යයි තථාගතයන්ගේ බෝධිය අදහාද, මහණෙනි, මෙය ශ්‍රද්‍ධා ධනයයි කියනු ලැබේ.
’’මහණෙනි, ශීල ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සතුන් මැරීමෙන්, සොරකමින්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, රහමෙර පානයෙන් වෙන්වූයේ වේද, මහණෙනි, මෙය ශීල ධනයයි කියනු ලැබේ.
’’මහණෙනි, ශ්‍රුත ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රවක තෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ වේද, ඇසූ දේ සිහි ඇත්තේද, අසා සිතේ තැන්පත් කරන්නේද, යම් ධර්ම කෙනක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අර්ත්‍ථ සහිත, ව්‍යඤ්ජන සහිත, පරිපූර්‍ණ පිරිසිදුවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරේද, එබඳු ධර්මයෝ දැරූයේ, වචනයෙන් පුරුදු කරණ ලද්දේ, ප්‍රත්‍යවෙක්‍ෂා කරණ ලද්දේ, දෘෂ්ටියෙන් මනාව ප්‍රතිවේධ කරණ ලද්දේ වේද, මහණෙනි, මෙය ශ්‍රුත ධනයයි කියනු ලැබේ.
’’මහණෙනි, ත්‍යාග ධනය කවරේද, මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මුදන ලද ත්‍යාග සිත් ඇත්තේ, පවිත්‍රවූ අත් ඇත්තේ, පරිත්‍යාගයෙහි ඇළුනේ, ඉල්ලීමට සුදුසුවූයේ, දන් බෙදීමෙහි ඇළුනේ, පහවූ මසුරු මළ ඇති සිතින් යුක්තව ගිහිගෙයි වාසය කෙරේද, මහණෙනි, මෙය ත්‍යාග ධනයයි කියනු ලැබේ.
’’මහණෙනි, ප්‍රඥා ධනය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ආර්‍ය්‍යවූ කෙලෙස් බිඳීම් ඇත්තාවූ, මනාකොට දුක් ක්‍ෂය කිරීම පිණිස පවත්නාවූ, ඇතිවීම නැතිවීම දැනගන්නා පිණිස පවත්නාවූ ප්‍රඥාවෙන් යුක්තවූයේ, නුවණැත්තේ වේද, මහණෙනි, මෙය ප්‍රඥා ධනයයි කියනු ලැබේ. මහණෙනි, මොහු වනාහි ධන පස වෙත්යයි වදාළ සේක.
’’යමෙකුගේ ශ්‍රද්‍ධා තොමෝ තථාගතයන් කෙරේ නිශ්චලව මනාකොට පිහිටන ලද්දීද, යමෙකුගේ යහපත්වූ, ආර්‍ය්‍යයන් කැමතිවූ, ප්‍රශංසා කරණ ලද්දක් වේද,
’’යමෙකුගේ සංඝයා කෙරෙහි ප්‍රසාදය ඇත්තේද, ඎජුවූ දර්‍ශනය ඇත්තේද, ඔහු දිළින්දෙක් නොවේයයි කියත්. ඔහුගේ ජීවිතය නොසිස් වේ.
’’එහෙයින් ශ්‍රද්‍ධාවද, ශීලයද, ප්‍රසාදයද, ධර්ම දර්‍ශනයද යන මෙහි නුවණැත්තේ බුදුවරයන්ගේ අනුශාසනය සිහිකරමින් යෙදෙන්නේය’’ යි වදාළ සේක.