අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

2. දෙවැනි පණ්ණාසකය

(9) 4. ථෙර වර්‍ගය

10. දුතිය සෙඛභික්ඛු සූත්‍රය

’’මහණෙනි, මේ ධර්‍ම පස ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස පවතිත්.

’’කවර පසක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි ශෛක්‍ෂ භික්‍ෂු තෙම බොහෝ කෘත්‍ය ඇත්තේ බොහෝ කටයුතු ඇත්තේ පිළිවිස කරණ කටයුතුවල දක්‍ෂයෙක් වේද, විවේකය හිස් කෙරේද, තමා පිළිබඳ සමාධි කර්‍මස්ථානයෙහි නොයෙදේද, මහණෙනි, මේ පළමුවන ධර්‍මය තෙම,

’’ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස පවතියි. මහණෙනි, නැවත අනිකක්ද කියමි.

’’ශෛක්‍ෂ භික්‍ෂු තෙම ස්වල්ප තරම්වූ කර්‍මයකින් දවස ඉක්මවාද, විවේකය හිස් කෙරේද, තමා පිළිබඳ සමාධි කර්‍මස්ථානයෙහි නොයෙදේද, මහණෙනි, මේ දෙවෙනි කාරණය තෙම ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස පවතියි. මහණෙනි, නැවත අනිකක්ද කියමි.

’’ශෛක්‍ෂ භික්‍ෂු තෙම ගෘහස්ත ප්‍රව්‍රජිතයන් හා එක්වූයේ, නුසුදුසුවූ ගිහියන් හා එක්වීම ඇතිව වාසය කෙරේද, විවේකය හිස් කෙරේද, තමන් පිළිබඳ සමාධි කර්‍මස්ථානයෙහි නොයෙදේද. මහණෙනි, මේ තුන්වන කාරණය තෙම ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස පවතියි. මහණෙනි, නැවත අනිකක්ද කියමි.

’’ශෛක්‍ෂ භික්‍ෂු තෙම ඉතා කලින් ගමට පිවිසේද, ඉතා දවල් පෙරලා ඒද, විවේකය හිස් කෙරේද, තමන් පිළිබඳ සමාධි කර්‍මස්ථානයෙහි නොයෙදේද. මහණෙනි, මේ සතරවන කාරණය තෙම ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස පවතියි. මහණෙනි, නැවත අනිකක්ද කියමි.

’’ශෛක්‍ෂ භික්‍ෂු තෙම අතිශයින්ම කෙලෙස් ලියන්නාවූ සමථ විදර්‍ශනාවන්ට හිතවූ යම් මේ කථාවක් වේද, එනම් අල්පේච්ඡතා පිළිබඳ කථාවය, සන්තුෂ්ටිය පිළිබඳ කථාවය, ප්‍රකර්‍ෂ විවේකය පිළිබඳ කථාවය, සංසර්‍ග නොවීම පිළිබඳ කථාවය, වීර්‍ය්‍යාරම්භය පිළිබඳ කථාවය, ශීලය පිළිබඳ කථාවය, සමාධිය පිළිබඳ කථාවය, ප්‍රඥාව පිළිබඳ කථාවය, විමුක්තිය පිළිබඳ කථාවය, විමුක්ති ඥාන දර්‍ශන පිළිබඳ කථාවය යන මොහුයි. මෙබඳු කථාව පිළිබඳව කැමති පරිදි ලැබීම ඇත්තෙක් නොවේද, දුකසේ ලැබීම ඇත්තෙක් වේද, අපහසුවෙන් ලැබීම ඇත්තෙක් වේද, විවේකය හිස් කෙරේද, තමන් පිළිබඳ සමාධි කර්‍මස්ථානයෙහි නොයෙදේද, මහණෙනි, මේ පස්වන කාරණය තෙම ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස පවතියි.

’’මහණෙනි, මේ ධර්‍ම පස ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස පවතිත්.

’’මහණෙනි, මේ කරුණු පසක් ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නොපිරිහීම පිණිස පවතිත්.

’’කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි ශෛක්‍ෂ භික්‍ෂු තෙම බොහෝ කෘත්‍ය ඇත්තෙක් නොවේද, බොහෝ කටයුතු ඇත්තෙක්, පිළිවිස කරණ කටයුතුවල දක්‍ෂයෙක් නොවේද, විවේකය හිස් නොකෙරේද, තමන් පිළිබඳ සමාධි කර්‍මස්ථානයෙහි යෙදේද, මහණෙනි, මේ පළමුවෙනි කාරණය,

’’ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නොපිරිහීම පිණිස පවතී. මහණෙනි, නැවත අනිකක්ද කියමි.

’’ශෛක්‍ෂ භික්‍ෂු තෙම ස්වල්ප තරම්වූ කර්‍මයකින් දවස නොඉක්මවාද, විවේකය හිස් නොකෙරේද, තමන් පිළිබඳ සමාධි කර්‍මස්ථානයෙහි යෙදේද, මහණෙනි, මේ දෙවන කාරණය, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නොපිරිහීම පිණිස පවතී. මහණෙනි, නැවත අනිකක්ද කියමි.

’’ශෛක්‍ෂ භික්‍ෂු තෙම ගෘහස්ත ප්‍රව්‍රජිතයන් හා නුසුදුසුවූ ගිහි සංසර්‍ගයෙන් නොගැවසුනේ වාසය කෙරේද, විවේකය හිස් නොකෙරේද, තමන් පිළිබඳ සමාධි කර්‍මස්ථානයෙහි යෙදේද, මහණෙනි, මේ තුන්වන කාරණය, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නොපිරිහීම පිණිස පවතී. මහණෙනි, නැවත අනිකක්ද කියමි.

’’ශෛක්‍ෂ භික්‍ෂු තෙම ඉතා කලින් ගමට නොපිවිසේද, ඉතා දවල් පෙරලා නොයේද, විවේකය හිස් නොකෙරේද, තමන් පිළිබඳ සමාධි කර්‍මස්ථානයෙහි යෙදේද. මහණෙනි, මේ තුන්වන කාරණය ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නොපිරිහීම පිණිස පවතී. මහණෙනි, නැවත අනිකක්ද කියමි.

’’ශෛක්‍ෂ භික්‍ෂු තෙම අතිශයින් කෙලෙස් ලියන්නාවූ චිත්ත විවරණ නම් සමථ විදර්‍ශනාවන්ට හිතවූ යම් මේ කථාවක් වේද, එනම් අල්පේච්ඡ බව පිළිබඳ කථාය, සතුටුබව පිළිබඳ කථාය, ප්‍රකර්‍ෂ විවේකය පිළිබඳ කථාය, සංසර්‍ග නොවීම පිළිබඳ කථාය, වීර්‍ය්‍යාරම්භය පිළිබඳ කථාය, සීල කථාය, සමාධි කථාය, ප්‍රඥා කථාය, විමුක්ති කථාය, විමුක්ති ඥාන දර්‍ශන කථාය යන මෙබඳු කථාවගේ කැමති පරිදි ලැබීම ඇත්තෙක් නිදුකින් ලැබීම ඇත්තෙක්, බහුලව ලැබීම ඇත්තෙක් වේද, විවේකය හිස් නොකෙරේද, තමන් පිළිබඳ සමාධි කර්‍මස්ථානයෙහි යෙදේද, මහණෙනි, මේ පස්වන කාරණය ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නොපිරිහීම පිණිස පවතියි.

’’මහණෙනි, මේ කරුණු පසක් ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නොපිරිහීම පිණිස පවතිත්.

නව වන ථෙර වර්‍ගය නිමි.