සංයුත්තනිකායො
නිදාන වර්ගය
1. නිදාන සංයුත්තය
5. ගහපති වර්ගය
2. පඤ්චවේරභය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසක හුන්නේය. එක්පසක හුන්නාවූ ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
“මහණෙනි, යම් කලක වනාහි ආර්ය ශ්‍රාවකයාගේ පස්වැදෑරුම් භය සහ වෛරයෝ සංසිඳුණාහු වෙත්ද, සිව්වැදෑරුම් ශ්‍රොතාපත්ති අංගයන්ගෙන් යුක්තවූයේ වෙයිද, නිර්මලවූ පටිච්චසමුප්පාද ධර්මය නුවණින් මනාකොට දක්නා ලද්දේ මනාකොට අවබෝධ කරන ලද්දේ වෙයිද, හෙතෙම කැමැති වන්නේ තෙමේම තමා පැහැදිලි කරන්නේය. (කෙසේද?) ‘මම නිරයෙහි ඉපදීම නැතිකළ අයෙක් වෙමි. මම නිරයෙහි ඉපදීම් නැත්තේ වෙමි. තිරිසන් යෝනියෙහි ඉපදීම් නැත්තේ වෙමි. ප්‍රේත ලෝකයෙහි ඉපදීම් නැත්තේ වෙමි. නපුරු ගති ඇති, සැප නැති, අපායෙහි ඉපදීම් නැත්තේ වෙමි. මම දුකට ඇදනොවැටෙන ස්වභාව ඇත්තාවූ, ප්‍රථම මාර්ගයට පැමිණීමෙන් නිවනට නියතවූ, මතු මාර්ගත්‍රයට ගමන් කරන්නාවූ, ආර්ය මාර්ග ශ්‍රොතයට පැමිණියේ වෙමි’ කියායි.
“කිනම් භය සහ වෛරයෝ සංසිඳුනාහු වෙත්ද? මහණෙනි, සතුන් මරන්නා සතුන් මැරීම නිසා මෙලොවද, යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, පරලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, චෛතසිකවූද දුක් දොම්නස් විඳියි. සතුන් මැරීමෙන් වෙන්වූවහුට මෙසේ ඒ භය සහ වෛරය සංසිඳුනේ වෙයි.
“මහණෙනි, සොරකම් කරන්නා සොරකම් කිරීම නිසා මෙලොවද යම් භයක් සහ වෛරයක් ඇතිකෙරෙයිද, පරලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, චෛතසික වූද දුක්දොම්නස් විඳියිද, සොරකම් කිරීමෙන් වෙන්වූවහුට මෙසේ ඒ භය සහ වෛරය සංසිඳුනේ වෙයි.
“මහණෙනි, කාමයන්හි වරදවා හැසිරෙන්නා කාමයන්හි වරදවා හැසිරීම නිසා මෙලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, පරලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, චෛතසිකවූද දුක් දොම්නස් විඳියිද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවහුට මෙසේ ඒ භය සහ වෛරය සංසිඳුනේ වෙයි.
“මහණෙනි, බොරු කියන්නා බොරු කීම නිසා මෙලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, පරලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, චෛතසිකවූද දුක් දොම්නස් විඳියිද, බොරු කීමෙන් වෙන්වූවහුට මෙසේ ඒ භය සහ වෛරය සංසිඳුනේ වෙයි.
“මහණෙනි, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය කරන්නා මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය කිරීම නිසා මෙලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, පරලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, චෛතසිකවූද දුක් දොම්නස් විඳියිද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය කිරීමෙන් වෙන්වූවහුට මෙසේ ඒ භය සහ වෛරය සංසිඳුනේ වෙයි.
මේ පස්වැදෑරුම් භය සහ වෛර සංසිඳුනාහු වෙත්.
“කවර සිව්වැදෑරුම් සොතාපත්ති අංගයන්ගෙන් යුක්ත වූයේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්යශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්තවූයේ වෙයි (කෙසේද?) ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අර්හත්හ. සම්මාසම්බුද්ධයහ. අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තයහ. ශෝභන ගමන් ඇතිසේක. ලෝකය දත්සේක. පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු වැනිසේක දෙව්මිනිසුන්ගේ ගුරුවූසේක. චතුරාර්ය සත්‍යය අවබෝධ කළසේක. භාග්‍යවත්හ කියායි.
“ධර්මය කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. (කෙසේද?) ධර්මය මනාකොට බුදුරජාණන් වහන්සේ විසින් වදාරණලදී. තෙමේම දතයුතුය. කල් නොයවා විපාක දෙන්නේය. නිවණට පමුණු වන්නේය. නුවණ ඇත්තන් විසින් තම තමා කෙරෙහි ලා දතයුත්තේය කියායි.
‘සංඝයා කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. (කෙසේද?) භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම මනාකොට ගමන් ගත්තේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම කෙලින් ගමන් ගත්තේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම නිවන කරා ගමන් ගත්තේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම සාමීචිකර්මයට සුදුසු වන සේ ගමන් ගත්තේය. යම් මේ පුරුෂ යුගල සතරකින් යුත් අෂ්ටාර්ය පුද්ගලයෝ වෙත්ද, මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම සිව්පසය පිදීමට සුදුසුය. ආගන්තුක සත්කාරයට සුදුසුය. පරලොව අදහා දෙන දානයට සුදුසුය. ලෝකයාගේ ඇඳිලි කර්මයට (වැඳීමට) සුදුසුය. ලෝකයාගේ අති උතුම් පින් කුඹුරය, කියායි.
“කඩතොලුනොවූ, සිදුරුනොවූ, පුල්ලි නොඉසුනු තණ්හාවෙන් මිදුනාවූ, බුද්ධාදී ආර්යයන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ, තණ්හාදිට්ඨි වශයෙන් පරාමර්ශනය නොකරන ලද්දාවූ, සමාධිය පිණිස පවත්නාවූ, ආර්යයන් කැමැතිවූ, ශීලයෙන් (පඤ්චශීලයෙන්) යුක්තවූයේ වෙයි. මේ සිව් වැදෑරුම් සොතාපත්ති අංගයන්ගෙන් යුක්තවූයේ වෙයි. කෙසේ නිර්මලවූ, පටිච්චසමුප්පාද ධර්මය නුවණින් මනාකොට දක්නා ලද්දේ, මනාකොට අවබෝධකරන ලද්දේ වෙයිද?
“මහණෙනි, මේ ශාසනයෙහි ආර්යශ්‍රාවකතෙම පටිච්චසමුප්පාදයම මනාකොට ඇතිසේ, නුවණින් මෙනෙහි කෙරෙයි. කෙසේද? මේ හේතුව ඇති කල්හි මේ ඵලය ඇතිවේ. මේ හේතුව ඉපදීමෙන් මේ ඵලය උපදියි. මේ හේතුව නැතිකල්හි මේ ඵලය ඇති නොවේ. මේ හේතුව නැතිවීමෙන් මේ ඵලය නැතිවේ කියායි.
“හේ මෙසේයි:- අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේ. සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා මරණයද, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත් මෙසේ මේ එකම දුක් සමූහය ඇතිවෙයි.
“මහණෙනි, යම් කලක වනාහි ආර්ය ශ්‍රාවකයාගේ මේ පස්වැදෑරුම් භය සහ වෛරයෝ සංසිඳුනාහු වෙත්ද, මේ සිව් වැදෑරුම් සොතාපත්ති අංගයන්ගෙන් යුක්තවූයේ වෙයිද, මේ නිර්මලවූ පටිච්චසමුප්පාද ධර්මය නුවණින් මනාකොට දක්නා ලද්දේ මනාකොට අවබෝධ කරන ලද්දේ වෙයිද, හෙතෙම කැමතිවන්නේ, තෙමේම තමා පැහැදිළි කරන්නේය. (කෙසේද?) ‘මම නිරයෙහි ඉපදීම නැති කළ අයෙක් වෙමි. තිරිසන් යෝනියෙහි ඉපදීම නැති කළ අයෙක් වෙමි. ප්‍රේත යෝනියෙහි ඉපදීම නැති කළ අයෙක්වෙමි. නපුරු ගති ඇති සැප නැති අපායෙහි ඉපදීම නැති අයෙක් වෙමි මම දුකට ඇදහැලෙන ස්වභාව නැත්තාවූ, ප්‍රථම මාර්ග ප්‍රතිලාභයෙන් නිවන නියමවූ මතු මාර්ගත්‍රයට ගමන් කරන්නාවූ ආර්යමාර්ග ශ්‍රොතයට පැමිණියේ වෙමි, කියායි.”
(දෙවෙනි පඤ්චවේරභය සූත්‍රය නිමි.)