සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

5. ගහපති වර්ගය

1. පඤ්චවෙර භය සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති අනේපිඬු සිටුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, අනේපිඬු සිටු හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“ගෘහපතිය, යම් කලක ආර්ය ශ්‍රාවකයාට පස්වැදෑරුම් භය සහ වෛර චේතනා සංසිඳුනාහු වෙත්ද, සිව් වැදෑරුම් සෝතාපත්ති අංගයන්ගෙන් යුක්තවූයේ වෙයිද, නිදොස්වූ පටිච්චසමුප්පාද ධර්මය නුවණින් මනාකොට දක්නා ලද්දේද, අවබෝධ කරන ලද්දේද හෙතෙම කැමැති වන්නේ තෙමේම තමා පැහැදිලි කරන්නේය. (කෙසේද?) ‘මම නිරයෙහි ඉපදීම් නැත්තේ වෙමි. තිරිසන් යෝනියෙහි ඉපදීම් නැත්තේ වෙමි. ප්‍රේත ලෝකයෙහි ඉපදීම් නැත්තේ වෙමි. නපුරු ගති ඇති, සැප නැති, අපායෙහි ඉපදීම් නැත්තේ වෙමි. මම දුකට ඇද නොවැටෙන ස්වභාව ඇත්තාවූ, ප්‍රථම මාර්ගයට පැමිණීමෙන් නිවණට නියතවූ, මතු මාර්ගත්‍රයට ගමන් කරන්නාවූ, ආර්ය මාර්ග ශ්‍රෝතයට පැමිණියේ වෙමියි’ කියායි.

“කවර පස් වැදෑරුම් භයක් සහ වෛරයක් සංසිඳුවන ලද්දාහුවෙත්ද? ගෘහපතිය, සතුන් මරන්නා සතුන් මැරීම නිසා මෙලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, පරලොවද යම් භයක් සහ වෛරයක් ඇතිකෙරෙයිද, චෛතසික වූද, දුක් දොම්නස් විඳියිද, සතුන් මැරීමෙන් වෙන්වූවහුට මෙසේ ඒ භය සහ වෛරය සංසිඳුනේ වෙයි.

“ගෘහපතිය, සොරකම් කරන්නා සොරකම් කිරීම නිසා මෙලොවද යම් භයක් සහ වෛරයක් ඇතිකෙරෙයිද, පරලොවද යම් භයක් සහ වෛරයක් ඇතිකෙරෙයිද, චෛතසිකවූද දුක් දොම්නස් විඳියිද, හොරකම් කිරීමෙන් වෙන්වූවහුට මෙසේ ඒ භය සහ වෛරය සංසිඳුනේ වෙයි.

“ගෘහපතිය, කාමයන්හි වරදවා හැසිරෙන්නා, කාමයන්හි වරදවා හැසිරීම නිසා මෙලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, පරලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, චෛතසිකවූද, දුක් දොම්නස් විඳියිද, කාමයන්හි හැසිරීමෙන් වෙන්වූවහුට මෙසේ ඒ භය සහ වෛරය සංසිඳුනේ වෙයි.

“ගෘහපතිය, බොරු කියන්නා, බොරු කීම නිසා මෙලොවද, යම් භයක් සහ වෛරයක් ඇතිකෙරෙයිද, පර ලොවද යම් භයක් සහ වෛරයක් ඇතිකෙරෙයිද, චෛතසික වූද, දුක් දොම්නස් විඳියිද, බොරු කීමෙන් වෙන්වූවහුට මෙසේ ඒ භය සහ වෛරය සංසිඳුනේ වෙයි.

“ගෘහපතිය, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය කරන්නා, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානය නිසා, මෙලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, පරලොවද යම් භයක් සහ වෛරයක් ඇති කෙරෙයිද, චෛතසිකවූ, දුක් දොම්නස් විඳියිද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර පානයෙන් වෙන් වූවහුට මෙසේ ඒ භය සහ වෛරය සංසිඳෙන්නේ වෙයි. මෙසේ මේ පස්වැදෑරුම් භය සහ වෛරය සංසිඳුනාහු වෙත්.

“කිනම් සිව් වැදෑරුම් සෝතාපත්ති අංගවලින් යුක්තවූයේ වෙයිද? ගෘහපතිය, ආර්ය ශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි (කෙසේද?) ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අර්හත්ය, සම්මාසම්බුද්ධය, අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තය, ශෝභන ගමන් ඇත්තේය, ලෝකය දත්තේය, පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු වැනිය. දෙව් මිනිසුන්ගේ ගුරුය, චතුරාර්යසත්‍යය, අවබෝධ කළේය. භාග්‍යවත්ය කියායි. ධර්මයෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්තවූයේ වෙයි. (කෙසේද?) ධර්මය මනා කොට බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලදී. තෙමේම දතයුතුය. කල් නොයවා විපාක දෙන්නේය. නිවණට පමුණුවන්නේය. නුවණැත්තන් විසින් තම තමා කෙරෙහි ලා දතයුත්තේය, කියායි. සංඝයා කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. (කෙසේද?) භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම මනා කොට ගමන් ගත්තේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම කෙලින් ගමන් ගත්තේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම නිවණ කරා ගමන් ගත්තේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම සාමීචි කර්මයට සුදුසුවන සේ ගමන් ගත්තේය. යම් මේ පුරිස යුගල සතරකින් යුත් අෂ්ටාර්ය පුද්ගලයෝ වෙත්ද, මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම සිව් පසය පිදීමට සුදුසුය. ආගන්තුක සත්කාරයට සුදුසුය. පරලොව අදහා දෙන දානයට සුදුසුය. ලෝකයාගේ ඇඳිලි කර්මයට (වැඳීමට) සුදුසුය. ලෝකයාගේ අති උතුම් පින් කුඹුරය. කඩතොලු නොවූ, සිදුරු නොවූ, පුල්ලි නොඉසුනාවූ, තණ්හාවෙන් මිදුනාවූ, බුද්ධාදී ආර්යයන් විසින් ප්‍රශංසා කරන ලද්දාවූ, තණ්හා දිට්ඨි වශයෙන් පරාමර්ෂණය නොකරන ලද්දාවූ, සමාධිය පිණිස පවත්නාවූ, ආර්යයන් කැමැතිවූ ශීලයෙන් (පඤ්ච ශීලයෙන්) යුක්තවූයේ වෙයි. මේ සිව් වැදෑරුම් සෝතාපත්ති අංගයන්ගෙන් යුක්ත වූයේ වෙයි.

“කිනම් නිදොස්වූ, පටිච්චසමුප්පාද ධර්මයක් නුවණින් මනා කොට දක්නා ලද්දේ, මනා කොට අවබෝධ කරන ලද්දේ වේද? ගෘහපතිය, මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවක තෙම පටිච්චසමුප්පාදයම මනා කොට ඇතිසේ නුවණින් මෙනෙහි කරයි. කෙසේද, මේ හේතුව ඇති කල්හි මේ ඵලය ඇතිවෙයි. මේ හේතුව ඉපදීමෙන් මේ ඵලය උපදියි. මේ හේතුව නැති කල්හි මේ ඵලය නැතිවේ. මේ හේතුව නැතිවීමෙන් මේ ඵලය නැතිවේ, කියායි. හේ මෙසේයි:-

“අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේ. සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. නාම රූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා මරණද, ශෝකවීම් හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ එකම දුක් සමූහය ඇතිවෙයි.

“අවිජ්ජාව සහමුලින් නැතිකිරීමෙන්ම සංස්කාර නැතිවේ. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැතිවෙයි. නාම රූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැති වෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැති වෙයි. භවය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවෙයි. ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ එකම දුක් සමූහය නැතිවේ. මේ නිර්මලවූ, පටිච්චසමුප්පාද ධර්මය නුවණින් මනාකොට දක්නා ලද්දේ, මනාකොට අවබෝධ කරන ලද්දේ වෙයි.

“ගෘහපතිය, යම් කලක වනාහි ආර්ය ශ්‍රාවකයාගේ මේ පස් වැදෑරුම් භය සහ වෛරයෝ සංසිඳුනෝ වෙත්ද, මේ සිව්වැදෑරුම් සෝතාපත්ති අංගයන්ගෙන් යුක්තවූයේ වෙයිද, මේ නිර්මලවූ පටිච්චසමුප්පාද ධර්මය නුවණින් මනාකොට දක්නා ලද්දේ මනාකොට අවබෝධ කරන ලද්දේ වෙයිද, හෙතෙම කැමැති වන්නේ, තෙමේම තමා පැහැදිලි කරන්නේය. (කෙසේද?) මම නිරයෙහි ඉපදීම නැතිකළ අයෙක් වෙමි. තිරිසන් යෝනියෙහි ඉපදීම නැතිකළ අයෙක් වෙමි. ප්‍රේත යෝනියෙහි ඉපදීම නැති කළ අයෙක් වෙමි. නපුරු ගති ඇති, සැප නැති, අපායෙහි ඉපදීම් නැති අයෙක් වෙමි. මම දුකට ඇදවැටෙන ස්වභාව නැත්තාවූ, ප්‍රථම මාර්ගයට පැමිණීමෙන් නිවණට නියතවූ, මතු මාර්ගත්‍රයට ගමන් කරන්නාවූ, ආර්ය මාර්ග ශ්‍රෝතයට පැමිණියෙමි’ කියායි.”

(පළමු වන පඤ්චවේරභය සූත්‍රය නිමි.)