සංයුත්තනිකායො
නිදාන වර්ගය
1. නිදාන සංයුත්තය
5. ගහපති වර්ගය
3. දුක්ඛ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, දුක් ඇතිවීමද, නැතිවීමද දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි (දේශනා කළසේක.) ‘එසේය, ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
“මහණෙනි, දුක් ඇතිවීම කවරේද? ඇසද, රූපයන්ද, නිසා චක්ඛුවිඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. මහණෙනි, මෙය වනාහි දුක ඇතිවීමයි.
“කණද, ශබ්දයන්ද නිසා සොතවිඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. මහණෙනි, මෙය වනාහි දුක ඇතිවීමයි.
“නැහැයද ගන්ධයන්ද නිසා ඝාණවිඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. මහණෙනි, මෙය වනාහි දුක ඇතිවීමයි.
“දිවද, රසයන්ද නිසා ජිව්හාවිඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. මහණෙනි, මෙය වනාහි දුක ඇතිවීමයි.
“කයද, ස්පර්ශයන්ද නිසා කායවිඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. මහණෙනි, මෙය වනාහි දුක ඇතිවීමයි.
“සිතද ධර්මයන්ද නිසා මනොවිඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. මහණෙනි, මෙය වනාහි දුක ඇතිවීමයි.
“මහණෙනි, දුක නැතිවීම කවරේද? ඇසද රූපයන්ද නිසා චක්ඛුවිඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. ඒ තණ්හාව මුළුමනින් නැතිකිරීමෙන්ම උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ එකම දුක් සමූහය නැතිවෙයි. මහණෙනි, මෙය වනාහි දුක නැතිවීමයි.
“කණද, ශබ්දයන්ද නිසා සොතවිඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. ඒ තණ්හාව මුළුමනින් නැතිකිරීමෙන්ම උපදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවෙයි. මහණෙනි, මෙය වනාහි දුක නැතිවීමයි.
“නැහැයද ගන්ධයන්ද නිසා ඝාණවිඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. ඒ තණ්හාව මුළුමනින් නැතිකිරීමෙන් උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවෙයි. මහණෙනි, මෙය වනාහි දුක නැතිවීමයි.
“දිවද, රසයන්ද නිසා ජිව්හාවිඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. ඒ තණ්හාව මුළුමනින් නැතිකිරීමෙන්ම උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවෙයි. මහණෙනි, මෙය වනාහි දුක නැතිවීමයි.
“කයද ස්පර්ශයන්ද නිසා කායවිඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. ඒ තණ්හාව මුළුමනින් නැතිකිරීමෙන්ම උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක් දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවෙයි. මහණෙනි, මෙය වනාහි දුක නැතිවීමයි.
“සිතද ධර්මයන්ද නිසා මනොවිඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. ඒ තණ්හාව මුළුමනින් නැතිකිරීමෙන්ම උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොමනස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවෙයි. මහණෙනි, මෙය වනාහි දුක නැතිවීමයි.
(තුන්වන දුක්ඛ සූත්‍රය නිමි.)