සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

5. ගහපති වර්ගය

4. ලෝක සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි, වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ලෝකයේ ඇතිවීමද; නැතිවීමද, දේශනා කරන්නෙමි. එය අසව්. මනා කොට මෙනෙහි කරව්, කියන්නෙමියි” (දේශනා කළසේක.) “එසේය ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.

“මහණෙනි, ලෝකයේ ඇතිවීම කවරේද? ඇසද, රූපයන්ද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ඉපදීම ඇතිවේ. ඉපදීම නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ ඇතිවෙත්. මහණෙනි, මෙය වනාහි ලෝකයේ ඇතිවීමයි.

“කණද, ශබ්දයන්ද නිසා සෝත විඤ්ඤාණය උපදියි. තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ඉපදීම ඇතිවේ. ඉපදීම නිසා ජරා මරණ, ශෝක, පරිදේව, දුක් දොම්නස් සහ උපායාසයෝ ඇතිවෙත්. මහණෙනි, මෙය වනාහි ලෝකයේ ඇතිවීමයි.

“නැහැයද, ගන්ධයන්ද නිසා ඝානවිඤ්ඤාණය උපදියි. තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ඉපදීම ඇතිවේ. ඉපදීම නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ ඇතිවෙත්. මහණෙනි, මෙය වනාහි ලෝකයේ ඇතිවීමයි.

“දිවද, රසයන්ද නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ඉපදීම ඇතිවේ. ඉපදීම නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ ඇතිවෙත්. මහණෙනි, මෙය වනාහි ලෝකයේ ඇතිවීමයි.

“කයද, ස්පර්ශයන්ද නිසා කාය විඤ්ඤාණය උපදියි. තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ඉපදීම ඇතිවේ. ඉපදීම නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ ඇතිවෙත්. මහණෙනි, මෙය වනාහි ලෝකයේ ඇතිවීමයි.

“සිතද, ධර්මයන්ද නිසා මනෝවිඤ්ඤාණය උපදියි. තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ඉපදීම ඇතිවේ. ඉපදීම නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ ඇතිවෙත්. මහණෙනි, මෙය වනාහි ලෝකයේ ඇතිවීමයි.

“මහණෙනි, ලෝකයේ නැතිවීම කවරේද? ඇසද, රූපයන්ද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. ඒ තණ්හාව සහමුලින් නැති කිරීමෙන්ම උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක් දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි. මහණෙනි, මෙය වනාහි ලෝකයේ නැතිවීමයි.

“කණද, ශබ්දයන්ද නිසා සෝත විඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. ඒ තණ්හාව සහමුලින් නැතිකිරීමෙන්ම උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි. මහණෙනි, මෙය වනාහි ලෝකයේ නැතිවීමයි.

“නැහැයද, ගන්ධයන්ද නිසා ඝාණවිඤ්ඤාණය උපදියි. තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. ඒ තණ්හාව සහමුලින් නැතිකිරීමෙන්ම උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි. මහණෙනි, මෙය වනාහි ලෝකයේ නැතිවීමයි.

“දිවද, රසයන්ද නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. ඒ තණ්හාව සහමුලින් නැතිකිරීමෙන්ම උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි. මහණෙනි, මෙය වනාහි ලෝකයේ නැතිවීමයි.

“කයද ස්පර්ශයන්ද නිසා කාය විඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. ඒ තණ්හාව සහමුලින් නැතිකිරීමෙන්ම උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි. මහණෙනි, මෙය වනාහි ලෝකයේ නැතිවීමයි.

“සිතද, ධර්මයන්ද නිසා මනො විඤ්ඤාණය උපදියි තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. ඒ තණ්හාව සහමුලින් නැතිකිරීමෙන්ම උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි. මහණෙනි, මෙය වනාහි ලෝකයේ නැතිවීමයි.”

(සිව් වන ලෝක සූත්‍රය නිමි.)