සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

5. ගහපති වර්ගය

5. ඤාතික සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ නෑයන්ගේ ගම උළු සෙවිලි කොට කරන ලද, මහා ප්‍රාසාදයෙහි (ගිඤ්ජකාවස්ථයෙහි) වැඩ වසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හුදකලාව විවේකයෙන් සිටියේ මේ ධර්මක්‍රමය වදාළ සේක.

“ඇසද, රූපයන්ද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ඉපදීම ඇතිවේ. ඉපදීම නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ.

“කණද, ශබ්දයන්ද නිසා සෝත විඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ඉපදීම ඇතිවේ. ඉපදීම නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ.

“නැහැයද, ගන්ධයන්ද නිසා ඝාණවිඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ඉපදීම ඇතිවේ. ඉපදීම නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ.

“දිවද, රසයන්ද නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ඉපදීම ඇතිවේ. ඉපදීම නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ.

“කයද, ස්පර්ශයන්ද නිසා කාය විඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ඉපදීම ඇතිවේ. ඉපදීම නිසා ජරා, මරණ ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ.

“සිතද, ධර්මයන්ද නිසා මනෝ විඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ඉපදීම ඇතිවේ. ඉපදීම නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ ඇතිවෙත්. මෙසේ මේ එකම දුක් සමූහය ඇතිවේ.

“ඇසද, රූපයන්ද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. ඒ තණ්හාව සහමුලින් නැතිකිරීමෙන්ම උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි.

“කණද, ශබ්දයන්ද නිසා සෝත විඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. ඒ තණ්හාව සහමුලින් නැතිකිරීමෙන්ම උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි.

“නැහැයද, ගන්ධයන්ද නිසා ඝාණ විඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. ඒ තණ්හාව සහමුලින් නැතිකිරීමෙන්ම උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි.

“දිවද, රසයන්ද නිසා ජිව්හා විඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. ඒ තණ්හාව සහමුලින් නැතිකිරීමෙන්ම උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි.

“කයද, ස්පර්ශයන්ද නිසා කාය විඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. ඒ තණ්හාව සහමුලින් නැතිකිරීමෙන්ම උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි.

“සිතද, ධර්මයන්ද නිසා මනෝ විඤ්ඤාණය උපදියි. තුන්දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. ඒ තණ්හාව සහමුලින් නැතිකිරීමෙන්ම උපාදානය නැතිවේ. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි.”

“එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඇසෙන තන්හි සිටියේ වෙයි. සමීපස්ථානයෙහි සිටියාවූ, ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ දුටුසේක. දැක, ඒ භික්ෂුවට මෙය කීසේක. “මහණ, නුඹ අපගේ මේ ධර්ම ක්‍රමය ඇසූයෙහිද?” “එසේය, ස්වාමීනි,” “මහණ, නුඹ මේ ධර්ම ක්‍රමය උගණුව. මහණ, නුඹ මේ ධර්මක්‍රමය පුරුදු කරව. මහණ, නුඹ මේ ධර්මක්‍රමය සිතින් ධාරණය කරව. මහණ, මේ ධර්ම ක්‍රමය අර්ථයෙන් යුක්තය. මාර්ග බ්‍රහ්මචරියාවට පිහිටව සිටියේයයි” වදාළ සේක.

(පස්වන ඤාතික සූත්‍රය නිමි.)