සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

5. ගහපති වර්ගය

6. අඤ්ඤතර සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.

ඉක්බිති එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු වියයුතු වූත් සිහිකටයුතු වූත් කථාව කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ඒ බ්‍රාහ්මණ තෙම වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

“භවත් ගෞතමයිනි, කිමෙක්ද? හෙතෙම කෙරෙයිද? හෙතෙම විඳියිද?” “බමුණ, හෙතෙම කෙරෙයි. හෙතෙම විඳියි යන මෙය වනාහි එක් අන්තයකි.” “භවත් ගෞතමයිනි, කිමෙක්ද? අනිකෙක් කෙරෙයිද? අනිකෙක් විඳියිද”? “බමුණ, අනිකෙක් කෙරෙයි. අනිකෙක් විඳියි යන මෙය වනාහි දෙවෙනි අන්තයයි. බමුණ, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, තථාගත තෙම මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්මය දේශනා කරයි. (කෙසේද?)

“අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේ. සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. නාම රූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරාමරණයද, ශෝකවීම් හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ එකම දුක් සමූහය ඇතිවෙයි.”

“අවිජ්ජාව සහමුලින් නැතිකිරීමෙන් සංස්කාර නැති වේ. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාම රූප නැතිවෙයි. නාම රූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවෙයි. ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත් මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි.” කියායි.

මෙසේ කීකල්හි ඒ බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. යම්සේ යටිකුරු කළ භාජනයක් උඩුකුරු කරන්නේද, (තණකොළ ආදියෙන්) වැසුනක් වැහුම් හරින්නේද, මංමුළාවූවෙකුට මග හෝ කියන්නේද (ගණ අඳුරෙහි) ඇස් ඇත්තේ රූප දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් පරිද්දෙන් ධර්මය දේශනා කරන ලදී. භවත් ගෞතමයන් වහන්සේ අද සිට මා දිවිහිම් කොට සරණ ගිය උපාසකයකු කොට සලකන සේක්වායි” කියායි.

(හයවන අඤ්ඤතර සූත්‍රය නිමි.)