සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

5. ගහපති වර්ගය

7. ජාණුස්සෝණි සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත් සිහි කටයුතු වූත් කථාව කොට නිමවා, එක්පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ජාණුස්සෝණි බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “භවත් ගෞතමයිනි, කිම? සියල්ල ඇත්තේද”? “බමුණ, සියල්ල ඇත යන මෙය වනාහි එක් අන්තයෙකි” “භවත් ගෞතමයිනි, කිම? සියල්ල නැත්තේද?” “බමුණ, සියල්ල නැත යන මෙය වනාහි දෙවෙනි අන්තයයි. බමුණ, මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ දහම් දෙසන සේක. (කෙසේද?) අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේ. සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා මරණද, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ ඇතිවේ. අවිජ්ජාව සහමුළින් නැති කිරීමෙන්ම සංස්කාර නැතිවේ. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැති වෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැති වෙයි, භවය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවෙයි. ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවෙයි” කියායි.

මෙසේ වදාළ කල්හි ජාණුස්සෝණි බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. යම්සේ යටිකුරු කළ භාජනයක් උඩුකුරුකරන්නේද, (තණකොළ ආදියෙන්) වැසුනක් වැහුම් හරින්නේද, මංමුළා වූවෙකුට මග හෝ කියන්නේද, (ගණ අඳුරෙහි) ඇස් ඇත්තේ රූප දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් පරිද්දෙන් ධර්මය දේශනා කරන ලදී. භවත් ගෞතමයන් වහන්ස අද සිට, දිවිහිම් කොට සරණගිය, උපාසකයකු කොට මා සලකන සේක්වායි” කියායි.

(හත්වන ජාණුස්සෝණි සූත්‍රය නිමි.)