සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

5. ගහපති වර්ගය

8. ලෝකායතික සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති ලෝකායතික බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටුවිය යුතුවූත් සිහි කටයුතුවූත් කථාව කොට නිමවා, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ, ලෝකායතික බ්‍රාහ්මණතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “භවත් ගෞතමයිනි, කිම? සියල්ල ඇත්තේද?” “බමුණ, සියල්ල ඇත යන මෙය වනාහි පළමුවන ලෝකායත දෘෂ්ටියයි” (බාල පෘථග්ජන ලෝකයාගේ මහත්වූ ආශ්‍රව සහිත ශාස්වත දෘෂ්ටියයි) “භවත් ගෞතමයිනි, කිම? සියල්ල නැත්තේද?” “බමුණ, සියල්ල නැත යන මෙය වනාහි දෙවෙනි ලෝකායත දෘෂ්ටියයි.” (බාල පෘථග්ජන ලෝකයාගේ මහත්වූ, ආශ්‍රව සහිත උච්ඡේද දෘෂ්ටියයි) ‘භවත් ගෞතමයිනි, කිම? සියල්ල එක් ස්වභාව ඇත්තේද?” “බමුණ, සියල්ල එක් ස්වභාව ඇත්තේය යන මෙය වනාහි තෙවෙනි ලෝකායත දෘෂ්ටියයි.” (බාල පෘථග්ජන ලෝකයාගේ මහත්වූ, ආශ්‍රව සහිත ශාස්වත දෘෂ්ටියයි) “භවත් ගෞතමයිනි, කිම? සියල්ල වෙනස් වෙනස් ස්වභාවයෙන් යුක්තද?” “බමුණ, සියල්ල වෙනස් වෙනස් ස්වභාවයෙන් යුක්තය යන මෙය වනාහි සිව්වන ලෝකායත දෘෂ්ටියයි. (බාල පෘථග්ජන ලෝකයාගේ මහත්වූ, ආශ්‍රව සහිත උච්ඡේද දෘෂ්ටියයි) බමුණ, ඒ මේ අන්ත දෙකට නොපැමිණ, තථාගතයන් වහන්සේ මද්ධ්‍යම ප්‍රතිපදාවෙන් දහම් දෙසන සේක.

“(කෙසේද?) අවිජ්ජාව නිසා සංස්කාර ඇතිවේ. සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ, උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරාමරණද, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ ඇතිවෙයි. අවිජ්ජාව සහමුලින් නැති කිරීමෙන්ම සංස්කාර නැතිවෙයි. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවෙයි. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි, වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැති වෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි, භවය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවෙයි. ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවෙයි කියායි.”

මෙසේ වදාළ කල්හි ලෝකායතික බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත, යම්සේ යටිකුරු කළ භාජනයක් උඩුකුරු කරන්නේද, තණකොළ ආදියෙන් වැසුනක් වැහුම් හරින්නේද, මංමුළාවූවෙකුට මග හෝ කියන්නේද, (ගණ අඳුරෙහි) ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද, එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් පරිද්දෙන් ධර්මය දේශනා කරන ලදී. භවත් ගෞතමයන් වහන්සේ අද සිට දිවි ඇතිතෙක් සරණ ගිය උපාසකයෙකු කොට මා සලකන සේක්වා.

(අටවන ලෝකායතික සූත්‍රය නිමි)