සංයුත්තනිකායො

නිදාන වර්ගය

3. ධාතු සංයුත්තය

2. සත්තධාතු වර්ගය

10. අනොත්තප්පමූලක සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ධාතු (අදහස්) වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. අල්ප ශ්‍රැතයෝ අල්ප ශ්‍රැතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥානැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත් පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් හා සමග එක්වෙත් සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක් වෙත්. සමගි වෙත්.

“මහණෙනි, අතීත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ. සමගිවූහ. (කෙසේද?) පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක්වූහ. සමගි වූහ. අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් (බොහෝ ඇසූපිරූ තැන් නැත්තන්) හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥා නැත්තෝ ප්‍රඥානැත්තන් හා සමග එක්වූහ, සමගිවූහ.

පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වූහ, සමගිවූහ.

“මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය. සමගි වන්නාහුය. (කෙසේද?) පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් (බොහෝ ඇසූවිරූ තැන් නැත්තන්) හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥානැත්තෝ ප්‍රඥානැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය.

“මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද, සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්. සමගිවෙත් (කෙසේද?) පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූවිරූ තැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් (බොහෝ ඇසූවිරූ තැන් නැත්තන්) හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥානැත්තෝ ප්‍රඥානැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්, සමගිවෙත්.

(අනොත්තප්පමූලක සූත්‍රය 1 නිමි.)

අනොත්තප්පමූලක සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. පාපයට බිය ඇත්තෝ පාපයට බිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත් පටන්ගන්නා ලද උත්සාහය ඇත්තෝ පටන්ගන්නා ලද උත්සාහය ඇත්තන් සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගිවෙත්.

“මහණෙනි, අතීත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ. සමගි වූහ. (කෙසේද?) පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. පාපයට බිය ඇත්තෝ පාපයට බිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. පටන්ගන්නාලද උත්සාහය ඇත්තෝ පටන් ගන්නාලද උත්සාහය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥා ඇත්තෝ ප්‍රඥා ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ.

“මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය. සමගි වන්නාහුය. (කෙසේද?) පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. පාපයට බිය ඇත්තෝ පාපයට බිය ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. පටන් ගන්නාලද උත්සාහය ඇත්තෝ පටන් ගන්නාලද උත්සාහය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.

“මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥානැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. පාපයට බිය ඇත්තෝ පාපයට බිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. පටන්ගන්නා ලද උත්සාහය ඇත්තෝ පටන් ගන්නාලද උත්සාහය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගි වෙත්.

( අනොත්තප්පමූලක 2 සූත්‍රය නිමි.)

අනොත්තප්පමූලක සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. සිහිමුළාවූවෝ සිහිමුළාවූවන් හා සමග එක්වෙත්, සමගි වෙත්. ප්‍රඥානැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වෙත්, සමගි වෙත්. පාපයට බිය ඇත්තෝ පාපයට බිය ඇත්තන් හා සමග එක්වෙත්, සමගි වෙත්. එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහිඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥා වන්තයින් හා සමග එක්වෙත්, සමගි වෙත්.

“මහණෙනි, අතීතකාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ. සමගිවූහ. (කෙසේද?) පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සිහිමුළාවූවෝ සිහිමුළාවූවන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥානැත්තෝ ප්‍රඥානැත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. පාපයට බිය ඇත්තෝ පාපයට බිය ඇත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වූහ, සමගිවූහ.

“මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය. සමගිවන්නාහුය. (කෙසේද?) පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. සිහි මුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ප්‍රඥානැත්තෝ ප්‍රඥානැත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. පාපයට බිය ඇත්තෝ පාපයට බිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ප්‍රඥා ඇත්තෝ ප්‍රඥා ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය.

“මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද, සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්, සමගිවෙත්. (කෙසේද?) පාපයට බිය නැත්තෝ පාපයට බිය නැත්තන් හා සමග එක් වෙත්, සමගිවෙත්. සිහිමුළාවූවෝ සිහිමුළාවූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥා නැත්තෝ ප්‍රඥානැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පාපයට බිය ඇත්තෝ පාපයට බිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. එළඹ සිටි සිහි ඇත්තෝ එළඹ සිටි සිහි ඇත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්, සමගිවෙත්.

(අනොත්තප්පමූලක 3 සූත්‍රය නිමි.)