සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

2. වේදනා සංයුත්තය

1. සගාථ වර්‍ගය

7. ගිලඤඤ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහ වනයෙහි වූ කූටාගාර ශාලාවෙහි වාසය කරණ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැගිට ගිලන්හල යම් තැනෙක්හිද එතැන්හි වැඩිසේක. වැඩ, පණවන ලද අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. ,මහණෙනි, මහණතෙම සිහියෙන් යුක්තව යහපත් ප්‍රඥාවෙන් යුක්තව කාලය ගෙවන්නේය. මේ තොපට අපගේ අනුශාසනාවයි.

’’මහණෙනි, මහණතෙම කෙසේ සිහි ඇත්තේවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කයෙහි කය අනුව නුවණින් බලමින්, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව සම්‍යක් ප්‍රඥා ඇතිව සිහියෙන් යුක්තව සත්ත්‍ව ලෝකයෙහි ලෝභ, දෝස දෙක දුරුකොට වාසය කෙරෙයි. වේදනාවන්හි වේදනාව අනුව නුවණින් බලමින්, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, සම්‍යක් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව සත්ත්‍ව ලොකයෙහි ලොභ දොස දෙක දුරුකොට වාසය කෙරෙයි. සිතෙහි සිත අනුව නුවණින් බලමින්, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, සම්‍යක් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, සත්ත්‍ව ලොකයෙහි ලෝභ දෝස දෙක දුරුකොට වාසය කෙරෙයි. ධර්‍මයන්හි ධර්‍මයන් අනුව බලමින් කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූ සිහියෙන් යුක්තව සත්ත්‍වලොකයෙහි ලොභ දොස දෙක දුරුකොට වාසය කෙරෙයි. මහණෙනි, මහණතෙම මෙසේ වනාහි සිහි ඇත්තේ වේ.

’’මහණෙනි, මහණතෙම කෙසේ වනාහි යහපත් ප්‍රඥා ඇත්තේවේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඉදිරියට යාමෙහිද, ආපසු යාමෙහිද, නුවණින් යුක්තවූයේ වෙයි. ඉදිරිපිට බැලීමෙහිද, අවට බැලීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. අත්පා හැකිලීමෙහිද, දිගුකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. සඟල සිවුරු, පාත්‍ර, සිවුරු දැරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. කෑමෙහිද, බීමෙහිද, කඩා කෑමෙහිද, රස විඳගැනීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. වැසිකිළි, කැසිකිළි කර්‍මයෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදීමෙහිද, නිදි දුරුකිරීමෙහිද, කථාවෙහිද, තුෂ්ණිම්භාවයෙහිද, නුවණින් යුක්තවූයේ වෙයි. මහණෙනි, මහණතෙම මෙසේ වනාහි යහපත් නුවණින් යුක්තවූයේ වෙයි. මහණෙනි, මහණතෙම සිහියෙන් යුක්තව, මනා නුවණින් යුක්තව, කාලය ගෙවන්නේය. මෙය තොපට අපගේ අනුශාසනාවයි.

’’මහණෙනි, මෙසේ සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව, අප්‍රමාදව, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, නිවණ කරා යැවූ සිත් ඇතිව වාසය කරණ ඒ මහණහට, සැප වේදනාවක් උපදීද, හෙතෙම මට මේ සැප වේදනාවක් උපන්නීය. එය වනාහි හේතුවක් ඇතිවය. හේතුවක් නැතිව නොවේ. කිනම් හේතුවක් ඇතිවීද? මේ ශරීරය හේතුකොටගෙන ඇතිවිය. මේ කය වනාහි අනිත්‍යය. ප්‍රත්‍යයන් එක්ව කරණ ලද්දේය. හේතුවෙන් උපන්නේය. අනිත්‍යවූ, ප්‍රත්‍යයන් එක්ව කරණ ලද්දාවූ, හේතූන් නිසා උපන්, කය නිසා උපන්, සැප වේදනාව කෙසේ නිත්‍ය වන්නේදැයි සිතයි. හෙතෙම ශරීරයෙහිද, සැප වේදනාවෙහිද, අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. විනාශය අනුව බලමින් වාසය කරයි. නොඇලීම අනුව බලමින් වාසය කරයි. නිරොධය අනුව බලමින් වාසය කරයි. අත්හැරීම අනුව බලමින් වාසය කරයි. ශරීරයෙහිද සැප වේදනාවෙහිද අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නාවූ, විනාශය අනුව බලමින් වාසය කරන්නාවූ, නොඇලීම අනුව බලමින් වාසය කරන්නාවූ, නිරොධය අනුව බලමින් වාසය කරන්නාවූ, අත්හැරීම අනුව බලමින් වාසය කරන්නාවූ, ඔහුට කයෙහිද, සැප වේදනාවෙහිද, යම් රාගානුසයක් වේද එය ප්‍රහීන වෙයි.

’’මහණෙනි, මෙසේ සිහියෙන් යුක්තව නුවණින් යුක්තව අප්‍රමාදව කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, නිවණ කරා යැවූ සිත් ඇතිව, වාසය කරන්නාවූ ඔහුට දුක් වේදනාවක් උපදීද, හෙතෙම මට මේ දුක් වේදනාවක් උපන්නීය. ඕ වනාහි හේතුවක් නිසා ඇතිවිය. හේතුවක් නැතිව නොවේ. කිනම් හේතුවක් නිසාද? මේ ශරීරය නිසාම ඇතිවිය. මේ ශරීරය වනාහි අනිත්‍යය. ප්‍රත්‍යයන්ගෙන් කරන ලද්දේය. හේතුවක් නිසා උපන්නේය. අනිත්‍යවූ, සංඛතවූ, හේතුවක් නිසා හටගත් කය නිසා උපන්, දුකඛ වේදනාවක් වේද, එය කෙසේ නිත්‍ය වන්නේදැයි මෙසේ දනී. හෙතෙම ශරීරයෙහිද, දුකඛ වේදනාවෙහිද අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. විනාශය අනුව බලමින් වාසය කරයි. නොඇලීම අනුව බලමින් වාසය කරයි. නිරොධය අනුව බලමින් වාසය කරයි. අත්හැරීම අනුව බලමින් වාසය කරයි. ශරීරයෙහිද දුක් වේදනාවෙහිද අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නාවූ, විනාශය අනුව බලමින් වාසය කරන්නාවූ, නොඇලීම අනුව බලමින් වාසය කරන්නාවූ, නිරොධය අනුව බලමින් වාසය කරන්නාවූ, අත්හැරීම අනුව බලමින් වාසය කරන්නාවූ, ඔහුට ශරීරයෙහිද දුකඛ වේදනාවෙහිද යම් පටිඝානුසයක් වේද එය ප්‍රහීණ වෙයි.

’’මහණෙනි, සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව, අප්‍රමාදව, කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, නිවණට යැවූ සිත් ඇතිව, වාසය කරණ ඒ මහණහට උපෙක්‍ෂා වේදනාවක් උපදීද, හෙතෙම මට මේ උපෙක්‍ෂා වේදනාවක් උපන්නීය. ඕ වනාහි යම් හේතුවකින් ඇතිවිය. හේතුවක් නැතිව නොවේ. කුමක් හේතුකොටගෙනද, මේ ශරීරය හේතුකොටගෙනය. මේ ශරීරය වනාහි අනිත්‍යය. ප්‍රත්‍යයෙන් සකස් කරන ලදී. හේතූන් නිසා උපන්නේය. අනිත්‍යවූ, ප්‍රත්‍යයන් විසින් සකස් කරන ලද, හේතූන්ගෙන් හටගත් ශරීරය නිසා උපන්, උපෙක්‍ෂා වේදනාව කෙසේ නිත්‍ය වන්නේදැයි මෙසේ දනී. හෙතෙම ශරීරයෙහිද, උපෙක්‍ෂා වේදනාවෙහිද, අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. විනාශය අනුව බලමින් වාසය කරයි. නොඇලීම අනුව බලමින් වාසය කරයි. නිරොධය අනුව බලමින් වාසය කරයි. අත්හැරීම අනුව බලමින් වාසය කරයි. ශරීරයෙහිද උපෙක්‍ෂා වේදනාවේද අනිත්‍යය අනුව බලමින් වාසය කරන, විනාශය අනුව බලමින් වාසය කරන, නොඇලීම අනුව බලමින් වාසය කරන, නිරුඬය අනුව බලමින් වාසය කරන, අත්හැරීම අනුව බලමින් වාසය කරන ඔහුට ශරීරයේද උපෙක්‍ෂා වේදනාවෙහිද යම් අවිද්‍යානුසයක් වේද, එය ප්‍රහීණ වෙයි. හෙතෙම සැප වේදනාවක් විඳීනම් එය අනිත්‍යයයි දනී. තෘෂ්ණාවෙන් බැස නොගන්නා ලද්දේයයි දනී. ප්‍රිය නොවන ලද්දේයයි දනී. දුක් වේදනාවක් විඳීනම් එය අනිත්‍යයයි දනී. තෘෂ්ණාවෙන් බැස නොගන්නා ලද්දේයයි දනී. ප්‍රිය නොවන ලද්දේයයි දනී. උපෙක්‍ෂා වේදනාවක් විඳීනම් ඕතොමෝ අනිත්‍යයයි දනී. තෘෂ්ණාවෙන් බැස නොගන්නා ලද්දේයයි දනී. ප්‍රිය නොවන ලද්දේයයි දනී. හෙතෙම සැප වේදනාවක් විඳීද එය කෙළෙසුන්ගෙන් වෙන්ව විඳියි. දුකඛ වේදනාවක් විඳීනම් එය කෙළෙසුන්ගෙන් වෙන්ව විඳියි. උපෙක්‍ෂා වේදනාවක් විඳීනම් එය කෙළෙසුන්ගෙන් වෙන්ව විඳියි. හෙතෙම කය කෙළවරකොට ඇති වේදනාව විඳින්නේ, කය කෙළවරකොට ඇති වේදනාව විඳිමියි දනියි. ජීවිතය කෙළවරකොට ඇති වේදනාව විඳින්නේ, ජීවිතය කෙළවරකොට ඇති වේදනාව විඳිමියි දනියි. මෙහිම විඳින ප්‍රිය වන සියළු වේදනා කය බිඳීමෙන් ජීවිතය කෙළවර වීමෙන් පසු සංසිඳෙන්නාහුයයි දැනගනීයයි වදාළේය.

’’මහණෙනි, යම්සේ තෙලද වැටියද නිසා තෙල් පහණ දැල්වෙන්නේද, ඒ තෙලත් වැටියත් කෙළවර වීමෙන් ප්‍රත්‍යය නොලැබීමෙන් නිවෙන්නේද, මහණෙනි, එසේම මහණතෙමේ කය කෙළවරකොට ඇති වේදනාව විඳින්නේ, කය කෙළවරකොට ඇති වේදනාව විඳිමියි දනියි. ජීවිතය කෙළවරකොට ඇති වේදනාව විඳින්නේ, ජීවිතය කෙළවරකොට ඇති වේදනාව විඳිමියි දනියි. මෙහිම විඳින ප්‍රිය වන වේදනා කය බිඳීමෙන්, ජීවිතය කෙළවර වීමෙන්, සංසිඳෙන්නාහුයයි දනීයයි වදාළ සේක.