සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
2. වේදනා සංයුත්තය
1. සගාථ වර්‍ගය
8. ගිලඤඤ සූත්‍රය. (2)
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහ වනයෙහි වූ කූටාගාර ශාලාවෙහි වාසය කරණ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැගිට ගිලන්හල යම් තැනෙක්හිද එතැන්හි වැඩිසේක. වැඩ, පණවන ලද අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. ,මහණෙනි, මහණතෙම සිහියෙන් යුක්තව යහපත් ප්‍රඥාවෙන් යුක්තව කාලය ගෙවන්නේය. මේ තොපට අපගේ අනුශාසනාවයි.
’’මහණෙනි, මහණතෙම කෙසේ සිහි ඇත්තේවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කයෙහි කය අනුව නුවණින් බලමින්, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව සම්‍යක් ප්‍රඥා ඇතිව සිහියෙන් යුක්තව සත්ත්‍ව ලෝකයෙහි ලෝභ, දෝස දෙක දුරුකොට වාසය කෙරෙයි. වේදනාවන්හි වේදනාව අනුව නුවණින් බලමින්, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, සම්‍යක් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව සත්ත්‍ව ලොකයෙහි ලොභ දොස දෙක දුරුකොට වාසය කෙරෙයි. සිතෙහි සිත අනුව නුවණින් බලමින්, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, සම්‍යක් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, සත්ත්‍ව ලොකයෙහි ලෝභ දෝස දෙක දුරුකොට වාසය කෙරෙයි. ධර්‍මයන්හි ධර්‍මයන් අනුව බලමින් කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූ සිහියෙන් යුක්තව සත්ත්‍වලොකයෙහි ලොභ දොස දෙක දුරුකොට වාසය කෙරෙයි. මහණෙනි, මහණතෙම මෙසේ වනාහි සිහි ඇත්තේ වේ.
’’මහණෙනි, මහණතෙම කෙසේ වනාහි යහපත් ප්‍රඥා ඇත්තේවේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඉදිරියට යාමෙහිද, ආපසු යාමෙහිද, නුවණින් යුක්තවූයේ වෙයි. ඉදිරිපිට බැලීමෙහිද, අවට බැලීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. අත්පා හැකිලීමෙහිද, දිගුකිරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. සඟල සිවුරු, පාත්‍ර, සිවුරු දැරීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. කෑමෙහිද, බීමෙහිද, කඩා කෑමෙහිද, රස විඳගැනීමෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. වැසිකිළි, කැසිකිළි කර්‍මයෙහිද නුවණින් යුක්තවූයේ වෙයි. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදීමෙහිද, නිදි දුරුකිරීමෙහිද, කථාවෙහිද, තුෂ්ණිම්භාවයෙහිද, නුවණින් යුක්තවූයේ වෙයි. මහණෙනි, මහණතෙම මෙසේ වනාහි යහපත් නුවණින් යුක්තවූයේ වෙයි. මහණෙනි, මහණතෙම සිහියෙන් යුක්තව, මනා නුවණින් යුක්තව, කාලය ගෙවන්නේය. මෙය තොපට අපගේ අනුශාසනාවයි.
’’මහණෙනි, මෙසේ සිහියෙන් යුක්තවූ, ප්‍රඥාවෙන් යුක්තවූ, අප්‍රමාදවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත, නිවණට යොමුකළ සිත් ඇතිව වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට සැප වේදනාවක් උපදීද, හෙතෙම මට සැප වේදනාවක් උපන්නීය. එය හේතුවක් නිසා ඇතිවිය. හේතුවක් නැතිව නොවේ. කුමක් නිසාද? මේ ස්පර්‍ශය නිසාය. මේ ස්පර්‍ශය අනිත්‍යය. කර්‍මාදී ප්‍රත්‍යයෙන් උපන්නේය. අනිත්‍යවූ, සංඛතවූ, හේතුවෙන් උපන්නාවූ, ස්පර්‍ශය නිසා උපන්නාවූ, සැප වේදනාව කෙසේ නිත්‍ය වන්නේදැයි දැනගනියි. හෙතෙම ස්පර්‍ශයෙහිද, සැප වේදනාවෙහිද, අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. විනාශය අනුව බලමින් වෙසෙයි. නොඇලීම අනුව බලමින් වෙසෙයි. නිරොධය අනුව බලමින් වෙසෙයි. වෙන්වීම අනුව බලමින් වෙසෙයි. ස්පර්‍ශයෙහිද, සැප වේදනාවෙහිද, අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නාවූ, විනාශය අනුව බලමින් වාසය කරන්නාවූ, නොඇලීම අනුව බලමින් වාසය කරන්නාවූ, නිරොධය අනුව බලමින් වාසය කරන්නාවූ, වෙන්වීම අනුව බලමින් වාසය කරන්නාවූ, ඔහුට ස්පර්‍ශයෙහිද සැප වේදනාවෙහිද යම් රාගානුශයක් වේද එය ප්‍රහීණ වේ.
’’මහණෙනි, මෙසේ සිහියෙන් යුක්තවූ, යහපත් නුවණින් යුක්තවූ, අප්‍රමාදවූ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූ, නිවණට යොමුකළ සිත් ඇතිව වාසය කරන ඒ මහණහට දුක් වේදනාවක් උපදීද, හෙතෙම මට මේ දුක් වේදනාවක් උපන්නීය. ඒ වනාහි හේතුවක් නිසා ඇතිවිය. හේතුවක් නැතිව නොවේ. කුමක් නිසාද? මේ ස්පර්‍ශය නිසාය. මේ ස්පර්‍ශය වනාහි අනිත්‍යය, සංඛතය, ප්‍රත්‍යයෙන් උපන්නේය. අනිත්‍යවූ, සංඛතවූ, ප්‍රත්‍යයෙන් උපන්නාවූ, ස්පර්‍ශය නිසා උපන්, දුක් වේදනාව කෙසේ නිත්‍ය වන්නේදැයි දනී. හෙතෙම ස්පර්‍ශයෙහිද, දුක් වේදනාවෙහිද, අනිත්‍යය අනුව බලමින් වෙසෙයි. විනාශය අනුව බලන්නේ, නොඇලීම අනුව බලමින්, නිරොධය අනුව බලමින්, වෙන්වීම අනුව බලමින් වාසය කරයි. ස්පර්‍ශයෙහිද, දුක් වේදනාවෙහිද අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නාවූ, විනාශය අනුව බලමින් වාසය කරන්නාවූ, නොඇලීම අනුව බලමින් වාසය කරන්නාවූ, නිරුඬවීම අනුව බලමින් වාසය කරන්නාවූ ඔහුට ස්පර්‍ශයෙහිද, දුක් වේදනාවෙහිද, යම් පටිඝානුසයක් වේද එය ප්‍රහීණ වෙයි.
’’මහණෙනි, මෙසේ සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව, අප්‍රමාදව, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, නිවණට යොමුකළ සිත් ඇතිව වාසය කරන්නාවූ ඒ මහණහට, උපෙක්‍ෂා වේදනාවක් උපදීද, හෙතෙම මට මේ උපෙක්‍ෂා වේදනාවක් උපන්නීය. එය හේතුවක් නිසා ඇතිවිය. හේතුවක් නැතිව නොවේ. කුමක් නිසාද? මේ ස්පර්‍ශයන් නිසාය. මේ ස්පර්‍ශය අනිත්‍යය, සංඛතය, ප්‍රත්‍යයෙන් හට ගත්තේය. අනිත්‍යවූ, සංඛතවූ, ප්‍රත්‍යයෙන් උපන්නාවූ, ස්පර්‍ශය නිසා උපන්, උපෙක්‍ෂා වේදනාව කෙසේ නිත්‍ය වන්නේදැයි දනියි. හෙතෙම ස්පර්‍ශයෙහිද, උපෙක්‍ෂා වේදනාවෙහිද අනිත්‍යය අනුව බලමින් වෙසෙයි. විනාශය අනුව බලමින් වෙසෙයි. විරාගය අනුව බලමින් වෙසෙයි. වෙන්වීම අනුව බලමින් වෙසෙයි. ස්පර්‍ශයෙහිද, උපෙක්‍ෂා වේදනාවෙහිද අනිත්‍යය අනුව බලමින් වාසය කරන්නාවූ, විනාශය අනුව බලමින්, නොඇලීම අනුව බලමින්, නිරොධය අනුව බලමින්, වෙන්වීම අනුව බලමින් වාසය කරන්නාවූ ඔහුට ස්පර්‍ශයෙහිද, උපෙක්‍ෂා වේදනාවෙහිද යම් අවිද්‍යානුසයක් වේද, එය ප්‍රහීණ වේ. හෙතෙම සැප වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දනී. තෘෂ්ණාවෙන් බැස නොගන්නා ලද්දීයයි දනී. සතුටු නොවන ලද්දීයයි දනී. දුකඛ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දනී. තෘෂ්ණාවෙන් බැස නොගන්නා ලද්දීයයි දනී. සතුටු නොවන ලද්දීයයි දනී. උපෙක්‍ෂා වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දනී. තෘෂ්ණාවෙන් බැස නොගන්නා ලද්දීයයි දනී. සතුටු නොවන ලද්දීයයි දනී. හෙතෙම සැප වේදනාවක් විඳීද, කෙළෙසුන්ගෙන් වෙන්වම එය විඳී. දුක් වේදනාවක් විඳීද, කෙළෙසුන්ගෙන් වෙන්වම එය විඳී. උපෙක්‍ෂා වේදනාවක් විඳීද, කෙළෙසුන්ගෙන් වෙන්වම එය විඳියි. හෙතෙම කය කෙළවරකොට ඇති වේදනාවක් විඳින්නේ, කය කෙළවරකොට ඇති වේදනාවක් විඳිමියි දනී. ජීවිතය කෙළවරකොට ඇති වේදනාවක් විඳින්නේ, ජීවිතය කෙළවරකොට ඇති වේදනාවක් විඳිමියි දනී. මෙහිම වින්දයුතුවූ සියළු වේදනා ශරීරය බිඳීමෙන් ජීවිතය කෙළවර වීමෙන් පසු සිසිල් වන්නාහුයයි දැනගනී.
’’මහණෙනි, යම්සේ තෙලද වැටියද නිසා තෙල් පහණ දැල්වෙන්නේද, ඒ තෙලත් වැටියත් කෙළවර වීමෙන් ප්‍රත්‍යය නොලැබීමෙන් නිවෙන්නේද, මහණෙනි, එසේම මහණතෙමේ කය කෙළවරකොට ඇති වේදනාව විඳින්නේ කය කෙළවරකොට ඇති වේදනාව විඳිමියි දනියි. ජීවිතය කෙළවරකොට ඇති වේදනාව විඳින්නේ ජීවිතය කෙළවරකොට ඇති වේදනාව විඳිමියි දනියි. මෙහිම විඳින ප්‍රිය වන වේදනා කය බිඳීමෙන් ජීවිතය කෙළවර වීමෙන් සංසිඳෙන්නාහුයයි දනීයයි වදාළ සේක.