සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
3. මාතුගාම සංයුත්තය
3. බල වර්ගය
6. නාසයිතබ්බ සූත්‍රය
“මහණෙනි, ස්ත්‍රියගේ මේ බල පසෙකි. කවර පසක්ද යත්, රූපබලය, ධනබලය, ඤාතිබලය, පුත්‍රබලය, සීලබලය, යන පසයි. මහණෙනි ස්ත්‍රිය රූපබලයෙන් යුක්තවේද, සීල බලයෙන් යුක්තනොවේද, ඇය නසන්නාහුමය. එළවා දමත්. ගෘහයෙහි වාසය නොකරවත් මහණෙනි, ස්ත්‍රිය රූපබලයෙන්ද ධනබලයෙන්ද යුක්තවේද, සීලබලයෙන් යුක්ත නොවේද, ඇය නසන්නාහුමය. ගෘහයෙහි වාසය නොකරවත්. මහණෙනි, ස්ත්‍රිය රූපබලයෙන්ද, ධනබලයෙන්ද, ඤාති බලයෙන්ද යුක්තවේද සීලබලයෙන් යුක්ත නොවේද, ඇය නසන්නාහුමය. ගෘහයෙහි වාසය නොකරවත්. මහණෙනි, ස්ත්‍රිය රූපබලයෙන්ද, ධනබලයෙන්ද, ඤාතිබලයෙන්ද, පුත්‍ර බලයෙන්ද, යුක්තවේද, සීලබලයෙන් යුක්ත නොවේද, ඇය නසන්නාහුය. ගෘහයෙහි වාසය නොකරවත්. මහණෙනි, යම්තැනක පටන් ස්ත්‍රිය රූපබලයෙන්ද, ධනබලයෙන්ද, ඤාතිබලයෙන්ද, පුත්‍රබලයෙන්ද, සීලබලයෙන්ද, යුක්තවේද, ඔහු ගෘහයෙහි වාසය කරවත්, නොනසවත්. මහණෙනි, ස්ත්‍රිය සීලබලයෙන් සමන්විත වේද රූපබලයෙන් යුක්ත නොවේද, ඇය කුලයෙහි වාසය කරවත් නොනසත්. මහණෙනි, ස්ත්‍රිය සීලබලයෙන් යුක්තවේද, ධනබලයෙන් යුක්ත නොවේද, ඇය නොනසත්. ගෘහයෙහි වාසය කරවත්.
“මහණෙනි, ස්ත්‍රිය සීලබලයෙන් යුක්ත වේද, ඤාති බලයෙන් යුක්ත නොවේද ඇය ගෘහයෙහි වාසය කරවත් නොනසත්. මහණෙනි, ස්ත්‍රිය සීලබලයෙන් යුක්තවේද පුත්‍ර බලයෙන් යුක්ත නොවේද ඇය ගෘහයෙහි වාසය කරවත් නොනසත්. මහණෙනි, මොව්හු ස්ත්‍රියගේ බලපස වෙත්.”