සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
3. උදායි වර්ගය
7. තණ්හා නිරොධ සූත්‍රය
[2] “මහණෙනි, යම් මාර්ගයක්, යම් පිළිවෙතක් තෘෂ්ණාව නැතිකිරීම පිණිස පවතීද ඒ මාර්ගය, ඒ පිළිවෙත වඩව්. මහණෙනි, කවර මාර්ගයක්, කවර පිළිවෙතක් තෘෂ්ණාව නැතිකිරීම පිණිස පවතීද? යම් මේ බොජ්ඣංග ධර්මයෝ සත්දෙනෙක් වෙත්ද, (ඔව්හුය) ඒ සත කවරහුද?
[3] “සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොහුයි.
[4] “මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ නැවත නැවත පුරුදු කරන ලද්දාවූ බොජ්ඣංගයෝ සත්දෙන තෘෂ්ණාව නැතිකිරීම පිණිස පවතිත්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද, විවෙකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ නිවනට නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද, විවෙකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවනට නැමුණ වූ පීති සම්බොජ්ඣංගය වඩයිද විවෙකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, විවෙකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ නිරොධය ඇසුරු කළාවූ නිවනට නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද, විවෙකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ නිවනට නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ, මෙසේ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ බොධ්‍යංගයෝ සත්දෙන තෘෂ්ණාව නැති කිරීම පිණිස පවතිත් යයි” වදාළසේක.