සංයුත්තනිකායො

මහා වර්ගය

2. බොජ්ඣංග සංයුත්තය

3. උදායි වර්ගය

10. උදායි බහුකත සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සුම්භ ජනපදයෙහි සුම්භයන්ගේ සේදංක නම් නියම් ගමක් වෙයි. එහි වැඩ වාසය කරන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසක හුන්නේය. එක්පසක හුන්නාවූ ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දන්වා සිටියේය.

“ස්වාමීනි, යම්තාක් මා විසින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රෙමයද, ගෞරවයද, ලජ්ජාවද භයද බුහුමන් වශයෙන් කරන ලද්දේද? ස්වාමීනි, (එය) ආශ්චර්යයකි. ස්වාමීනි, එය අද්භූතයකි. ස්වාමීනි, මම වනාහි පෙර ගිහියෙක් වූයේම ධර්මය කෙරෙහි නොකරන ලද බුහුමන් ඇත්තේ වීමි. සංඝයා කෙරෙහි නොකරන ලද බුහුමන් ඇත්තේ වීමි, ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රෙමයද, ගෞරවයද, ලජ්ජාවද, භයද දකිමින් ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදිවීමි.

“භාග්‍යවතුන් වහන්සේ ඒ මට මේ රූපය, මේ රූපයාගේ පහළවීමට හේතුවය, මේ රූපය දුරුකිරීමය. මේ වේදනාවය මේ වේදනාවගේ පහළවීමට හේතුවය, මේ වේදනාව දුරුකිරීමය. මේ සංඥාවය, මේ සංඥාවගේ පහළවීමට හේතුවය, මේ සංඥාව දුරුකිරීමය. මේ සංස්කාරයන්ය, මේ සංස්කාරයන්ගේ පහළවීමට හේතුවය, මේ සංස්කාරයන් දුරුකිරීමය මේ විඥානය, මේ විඥානයාගේ පහළවීමට හේතුවය, මේ විඥානයාගේ දුරුකිරීම යයි ධර්ම දෙශනා කළසේක.

ස්වාමීනි, ඒ මම වනාහි ජනයාගෙන් තොර හිස් තැනකට ගියේ, මේ උපාදානස්කන්ධ පසෙහි ඇතිවීම හා නැතිවීම පෙරළා බලන්නේ මේ දුකයයි තත්වූ පරිද්දෙන් දැනගතිමි. මේ දුක් ඉපදීමේ හේතුවයයි තත්වූ පරිද්දෙන් දැනගතිමි. මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිද්දෙන් දැනගතිමි. මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තත්වූ පරිද්දෙන් දැනගතිමි.

“ස්වාමීනි, මා විසින් විදර්ශනා ධර්මයද අවබොධ කරන ලද්දේය. විදර්ශනා මාර්ගයද ලබන ලද්දේය. මා විසින් යමක් වඩන ලදද බහුල වශයෙන් කරන ලදද එය ඒ ඒ ආකාරයෙන් වාසය කරන්නාහ. යම්සේ ජාතිය (ඉපදීම) ක්ෂය විය, බඹසර වැස නිමවන ලදී. කටයුතු දෙය කරන ලදී. මින්මතු ආත්ම භාවයක් නැතැයි මම දැනගන්නෙම්ද, ඒ බැව් පිණිස පමුණුවන්නේය.

“ස්වාමීනි, මා විසින් සති සම්බොජ්ඣංගයක් ලබන ලදී. මා විසින් යම් සති සම්බොජ්ඣංගයක් වඩන ලදද, බහුල වශයෙන් කරන ලදද, ඒ ඒ ආකාරයෙන් වසන්නහු යම්සේ ඉපදීම ක්ෂය විය. බඹසර වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මින්මතු ආත්මභාවයක් නැතැයි මම දැන ගන්නෙම්ද, ඒ බැව් පිණිස පමුණුවන්නේය.

“ස්වාමීනි, මා විසින් ධම්මවිචය සම්බොජ්ඣංගය ලබනලදී. මා විසින් යම් ධර්මවිචය සම්බොජ්ඣංගයක් වඩන ලදද බහුල වශයෙන් කරන ලදද, ඒ ඒ ආකාරයෙන් වසන්නහු යම්සේ ඉපදීම ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මින්මතු ආත්මභාවයක් නැතැයි මම දැන ගන්නෙම්ද, ඒ බැව් පිණිස පමුණුවන්නේය.

“ස්වාමීනි, මා විසින් විරිය සම්බොජ්ඣංගය ලබන ලදී. මා විසින් යම් විරිය සම්බොජ්ඣංගයක් වඩන ලදද, බහුල වශයෙන් කරන ලදද, ඒ ඒ ආකාරයෙන් වසන්නහු යම්සේ ඉපදීම ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මින්මතු ආත්ම භාවයක් නැතැයි මම දැන ගන්නෙම්ද, ඒ බැව් පිණිස පමුණුවන්නේය.

“ස්වාමීනි, මා විසින් පීති සම්බොජ්ඣංගය ලබන ලදී. මා විසින් යම් පීති සම්බොජ්ඣංගයක් වඩන ලදද, බහුල වශයෙන් කරන ලදද, ඒ ඒ ආකාරයෙන් වසන්නහු යම්සේ ඉපදීම ක්ෂයවිය බඹසර වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මින්මතු ආත්මභාවයක් නැතැයි මම දැනගන්නෙම්ද, ඒ බැව් පිණිස පමුණුවන්නේය.

“ස්වාමීනි, මා විසින් පස්සද්ධි සම්බොජ්ඣංගය ලබන ලදී. මා විසින් යම් පස්සද්ධි සම්බොජ්ඣංගයක් වඩන ලදද, බහුල වශයෙන් කරන ලදද, ඒ ඒ ආකාරයෙන් වසන්නහු යම්සේ ඉපදීම ක්ෂවිය. බඹසර වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මින්මතු ආත්මභාවයක් නැතැයි මම දැනගන්නෙම්ද, ඒ බැව් පිණිස පමුණුවන්නේය.

“ස්වාමීනි, මා විසින් සමාධි සම්බොජ්ඣංගය ලබන ලදී. මා විසින් යම් සමාධි සම්බොජ්ඣංගයක් වඩනලදද, බහුල වශයෙන් කරන ලදද, ඒ ඒ ආකාරයෙන් වසන්නහු යම්සේ ඉපදීම ක්ෂ විය. බඹසර වැස නිමවනලදී. කළයුතු දෙය කරනලදී. මින් මතු ආත්මභාවයක් නැතැයි මම දැනගන්නෙම්ද, ඒ බැව් පිණිස පමුණුවන්නේය.

“ස්වාමීනි, මා විසින් උපෙක්ඛා සම්බොජ්ඣංගය ලබනලදී. මා විසින් යම් උපෙක්ඛා සම්බොජ්ඣංගයක් වඩන ලදද, බහුල වශයෙන් කරන ලදද, ඒ ඒ ආකාරයෙන් වසන්නහු යම්සේ ඉපදීම ක්ෂවිය. බඹසර වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මින්මතු ආත්මභාවයක් නැතැයි මම දැන ගන්නෙම්ද, ඒ බැව් පිණිස පමුණුවන්නේය.

“ස්වාමීනි, මා විසින් මේ මාර්ගය ලබන ලදී. මා විසින් යම් ධර්මයක් වඩන ලදද, බහුල වශයෙන් කරන ලදද, ඒ ඒ ආකාරයෙන් වසන්නහු යම්සේ ඉපදීම ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කටයුතු දෙය කොට නිමවන ලදී. මින්මතු ආත්මභාවයක් නැතැයි දැනගන්නෙම්ද, ඒ බැව් පිණිස පමුණුවන්නේය යනුයි.”

“උදායි, මැනවි. මැනවි. උදායි, නුඹ විසින් යම් මාර්ගයක් වඩන ලදද, බහුල වශයෙන් කරන ලදද, ඒ ඒ ආකාරයෙන් වසන්නහු යම්සේ මම ඉපදීම ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුතු දෙය කරන ලදී. මින්මතු ආත්මභාවයක් නැතැයි දැන ගන්නෙම්ද, ඒ බැව් පිණිස පමුණුවන්නේය යන මේ මාර්ගය නුඹ විසින් ලබන ලදැයි” වදාළේය.

තුන්වැනි උදායි වර්ගය නිමි.