සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
3. උදායි වර්ගය
9. ඒකධම්ම බොජ්ඣංග සූත්‍රය
“මහණෙනි, යම් ධර්ම කෙනෙක් වඩන ලද්දාහු නැවත නැවත පුරුදු කරන ලද්දාහු සත්වයන් සසර බැඳ තබන (සංයොජනීය) ධර්මයන්ගේ අරමුණු නැතිකිරීම පිණිස පවතිත්ද? මහණෙනි, මේ බොධ්‍යංග ධර්මයෝ සත්දෙන යම්සේද එබඳු අන් එකම ධර්මයකුදු මම නුවණැසින් නොදකිමි. ඒ සත කවරේදයත්?
(මේ ඡෙදය මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි. 2722 පිට)
“මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ බහුල කරන ලද්දාවූ මේ බොධ්‍යංග ධර්මයෝ සත්දෙන සත්වයන් සසර බැඳ තබන ධර්මයන්ගේ අරමුණු නැතිකිරීම පිණිස පවතිත්ද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද,
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද,
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරු කළ, නිවන් පිණිස නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද,
“මහණෙනි මෙසේ වඩන ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ බොජ්ඣංගයෝ සත්දෙන සත්වයන් සසර බැඳ තබන ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස පවතිත්. මහණෙනි, සසර බැඳ තබන ධර්මයන්ගේ අරමුණු (සංයෝජනිය ධර්මයෝ) කවරහුද? මහණෙනි, ඇස සංයොජනීය ධර්මයකි. මේ ඇසෙහි ඒ සංයොජනයයි කියන ලද සත්වයන් සසර බැඳ තබන්නාවූ ඉතා තදින් අල්ලා ගන්නාවූ ධර්මයෝ උපදිත්.
“මහණෙනි, කන සංයොජනයට අරමුණු වන්නාවූ ධර්මයකි. එහි සංයොජනයන්ගෙන් බැඳ ගැනීම් බැස ගැනීම් උපදිත්, මහණෙනි, නාසය සංයොජනයට අරමුණු වන්නාවූ ධර්මයකි. එහි සංයොජනයන්ගෙන් බැඳ ගැනීම බැස ගැනීම් උපදිත්. මහණෙනි, දිව සංයොජනයන්ට අරමුණු වන්නාවූ ධර්මයකි. එහි සංයොජනයන්ගෙන් බැඳ ගැනීම් බැස ගැනීම් උපදිත්. මහණෙනි, කය සංයොජනයන්ට අරමුණුවන ධර්මයකි. එහි සංයොජනයන්ගෙන් බැඳ ගැනීම් බැස ගැනීම් උපදිත්. මහණෙනි, සිත සංයොජනයන්ට අරමුණුවන ධර්මයකි. එහි සංයොජනයන්ගෙන් බැඳීම් බැසගැනීම් උපදිත්. මහණෙනි, මොව්හු සංයොජනයන්ට අරමුණු වන ධර්මයෝ යයි කියනු ලැබෙත්.”