සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
2. ධම්මචක්කප්පවත්ත වර්ගය
5. පඨම සච්චධාරණ සූත්‍රය
[2] “මහණෙනි, මා විසින් නුඹලාට චතුරාර්‍ය්‍යසත්‍යයෝ දෙශනාකරණ ලදහයි දරාගනිව්.” මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනාකරනලද චතුරාර්‍ය්‍යසත්‍යයන් දරමියි” සැලකෙළේය.
[3] “මහණ, නුඹ මවිසින් දෙශනා කරනලද චතුරාර්‍ය්‍ය සත්‍යයන් කෙසේ දරන්නෙහිදැයි” විචාළහ.
“ස්වාමීනි, මම දුක්ඛය භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුකොට දෙශනා කරනලද ආර්‍ය්‍යසත්‍යයයි දරමි. ස්වාමීනි, මම දුක්ඛසමුදය, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙවනුව දෙශනාකරණලද ආර්‍ය්‍යසත්‍යයයි දරමි. ස්වාමීනි, මම දුක්ඛනිරොධය භාග්‍යවතුන් වහන්සේ විසින් තුන්වෙනුව දෙශනාකරණලද, ආර්‍ය්‍යසත්‍යයයි දරමි. ස්වාමීනි, මම දුක්ඛනිරොධගාමිනී පටිපදාව භාග්‍යවතුන් වහන්සේ විසින් සතරවෙනුව දෙශනා කරණලද ආර්‍ය්‍ය සත්‍යයයි දරමි. ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරණලද සතර ආර්‍ය්‍යසත්‍යයන් මෙසේ දරමියි” කීයේය.
[4] “මහණ, යහපති, යහපති, මහණ නුඹවනාහි මවිසින් දෙශනා කරණලද සතරආර්‍ය්‍යසත්‍යය දරන්නෙහි (ඉතා) මැනවි. මහණ, මවිසින් වනාහි පළමුකොට දුක්ඛාර්‍ය්‍යසත්‍යය දෙශනා කරනලදී. එය එසේ දරාගනුව. මහණ, මවිසින් වනාහි දෙවනුව දුක්ඛසමුදාර්‍ය්‍යසත්‍යය දෙශනා කරනලදී. එය එසේ දරාගනුව. මහණ, මා විසින් තෙවනුව දුක්ඛ නිරොධාර්‍ය්‍ය සත්‍යය දෙශනාකරනලදී. එය එසේ දරාගනුව. මහණ, මවිසින් වනාහි සතරවෙනුව දුක්ඛනිරොධගාමිණීපටිපදා ආර්‍ය්‍යසත්‍යය දෙශනා කරන ලදී, එය එසේ දරාගනුව.
[5] “මහණ, මෙසේ වනාහි මා විසින් දෙශනා කරණලද සතර ආර්‍ය්‍යසත්‍යයන් දරාගනුව. මහණ, එබැවින් මෙහිලා මේ දුක්ඛයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක්ඛ සමුදයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක්ඛ නිරෝධයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි. මේ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාවයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි.”