සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

2. ධම්මචක්කප්පවත්ත වර්ගය

6. දුතිය සච්චධාරණ සූත්‍රය

(මේ ඡෙදය මේ වර්ගයේ 5 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡෙදය මෙනි.)

“මහණ නුඹ වනාහි මවිසින් දෙශනා කරනලද සතර ආර්‍ය්‍ය සත්‍යයන් කෙසේ දරන්නෙහිදැයි” අසා වදාළහ. “ස්වාමීනි මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුවැනි ආර්‍ය්‍යසත්‍යය දුක්ඛාර්‍ය්‍යසත්‍යයයි දරමි. ස්වාමීනි, යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දෙශනා කරනලද මේ පළමුවන ආර්‍ය්‍යසත්‍යය දුක්ඛාර්‍ය්‍යසත්‍ය නොවේ. මම මේ පළමුවෙනි දුක්ඛආර්‍ය්‍යසත්‍යය ප්‍රතික්ෂෙපකොට අනික් පළමුවන දුක්ඛාර්‍ය්‍යසත්‍යයක් පනවන්නෙමියි’ මෙසේ කියන්නේ නම් ඒ කාරණය සිදුනොවෙයි.

“ස්වාමීනි, මම වනාහි දුක්ඛසමුදාර්‍ය්‍යසත්‍යය භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරනලද දෙවෙනි ආර්‍ය්‍ය සත්‍යය දරමි. කිසියම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දෙශනාකරනලද දෙවැනි ආර්‍ය්‍යසත්‍යය දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය නොවේ. මම මේ දෙවැනි දුක්ඛසමුදය ආර්‍ය්‍යසත්‍යය ප්‍රතික්ෂෙපකොට අනික් දෙවැනි දුක්ඛ සමුදය ආර්‍ය්‍යසත්‍යයක් පනවන්නෙමියි’ මෙසේ කියන්නේනම් ඒ කාරණය සිදුනොවේ.

“ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරනලද තෙවෙනි ආර්‍ය්‍යසත්‍යය දුක්ඛ නිරොධාර්‍ය්‍ය සත්‍යයයි දරමි යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දෙශනා කරනලද මේ දුක්ඛනිරොධාර්‍ය්‍යසත්‍යය තෙවෙනි ආර්‍ය්‍යසත්‍යය නොවේ. මම මේ තෙවැනි දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්‍රතික්ෂෙපකොට අන්‍යවූ තෙවෙනි දුක්ඛ නිරොධාර්‍ය්‍යසත්‍යයක් පනවන්නෙමියි’ කියන්නේ නම් ඒ කාරණය සිදුනොවේ.

“ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරනලද සතරවෙනි ආර්‍ය්‍යසත්‍යය දුක්ඛ නිරොධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයයි දරමි. යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දෙශනාකරනලද මේ දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය සතරවෙනි ආර්‍ය්‍යසත්‍යය නොවේ. මම මේ දුක්ඛ නිරොධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යය ප්‍රතික්ෂෙපකොට අන්‍යවූ දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයක් පනවන්නෙමියි’ කියන්නේ නම් ඒ කාරණය සිදුනොවේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනාකරන ලද ආර්‍ය්‍ය සත්‍යයන් මෙසේ දරමියි කීය.

“මහණ, යහපති, යහපති. මහණ, නුඹ වනාහි මා විසින් දේශනා කරනලද සතර ආර්‍ය්‍යසත්‍යයන් මනාව දන්නෙහිය. මහණ, මා විසින් පළමුව දුක්ඛාර්‍ය්‍යසත්‍යය දෙශනා කරනලදී. එය එසේ දරව. මහණ, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් විසින් දෙශනා කරන ලද එය පළමුවෙනි ආර්‍ය්‍යසත්‍යය නොවේ මම වනාහි මේ පළමුවැනි දුක්ඛාර්‍ය්‍යසත්‍යය ප්‍රතික්ෂෙපකොට අනිකක් පළමුවැනි දුක්ඛාර්‍ය්‍යසත්‍යයයි පනවන්නෙමියි’ කියන්නේ නම් ඒ කාරණය සිදුනොවේ.

“මහණ, මා විසින් දෙවැනිව දුක්ඛසමුදය ආර්‍ය්‍යසත්‍යය වදාරණලදී. එය එසේ දරනු. මහණ යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දෙවැනිව දෙශනා කරණ ලද එය දුක්ඛසමුදය ආර්‍ය්‍යසත්‍යය නොවේ. මම වනාහි මේ දෙවැනි දුක්ඛසමුදය ආර්‍ය්‍යසත්‍යය ප්‍රතික්ෂෙපකොට අනික් දෙවැනි දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යයක් පනවන්නෙමියි’ කියන්නේ නම් ඒ කාරණය සිදුනොවේ.

“මහණ, මා විසින් තෙවැනිව දුක්ඛනිරොධ ආර්‍ය්‍ය සත්‍යයයි වදාරණලදී. එය එසේ දරණු. මහණ යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් විසින් තෙවැනිව දෙශනා කරණලද එය දුක්ඛනිරෝධ ආර්‍ය්‍ය සත්‍යය නොවේ. මම වනාහි මේ තෙවැනි දුක්ඛනිරෝධයආර්‍ය්‍ය සත්‍යය ප්‍රතික්ෂෙපකොට අනික් දුක්ඛනිරොධ සත්‍යයක් පනවන්නෙමියි’ කියන්නේ නම් ඒ කාරණය සිදුනොවේ.

“මහණ, මා විසින් සතරවැනිව දුක්ඛ නිරොධගාමිනී පටිපදා ආර්‍ය්‍ය සත්‍යය වදාරණ ලදී. එය එසේ දරණු. මහණ, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් සතර වැනිව දෙශනා කරන ලද එය දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය නොවේ. මම වනාහි සතරවැනි දුක්ඛ නිරොධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යය ප්‍රතික්ෂෙප කොට අනික් දුක්ඛ නිරොධ ගාමිණී පටිපදා ආර්‍ය්‍ය සත්‍යයක් පනවන්නෙමියි’ මෙසේ කියන්නෙමි ඒ කාරණය සිදුනොවේ.

(මේ ඡෙදය මේ වර්ගයේ 5 වෙනි සූත්‍රයේ 5 වෙනි ඡෙදය මෙනි.)