අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
5. ධම්මික වර්‍ගය
7. ඛෙම - සුමන සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේද. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද. එතැන්හි පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නාහ. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළේය.
’’ස්වාමීනි, යම් ඒ භික්‍ෂුවක් කෙළෙසුන් නැතිකළේ. සම්පූර්‍ණ කළ කටයුතු ඇත්තේ, සිව්මඟීන් කළ කටයුතු නිමවූයේ, බහා තබන ලද කෙළෙස් බර ඇත්තේ, පැමිණි යහපත ඇත්තේ, හීන කළ භව බැඳුම් ඇත්තේ, මිදීම මනාකොට දත්තේ (අර්හත්) පූජාවට සුදුසු වේද, උන්වහන්සේට මට වඩා ශ්‍රේෂඨයෙක් හෝ සමයෙක් හෝ හීනයෙක් හෝ ඇත්තේයයි අදහසක් නොවෙයි.’’ ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේ මෙය ප්‍රකාශ කළහ. ශාස්තෲන් වහන්සේ අදහසට එකඟවූ සේක.
ඉක්බිති ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේ ශාස්තෲන් වහන්සේ මාගේ අදහසට එකඟවූ සේකැයි අස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වැඳ, ප්‍රදක්‍ෂිණාකොට බැහැර ගියහ.
ඉක්බිති, ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේ බැහැර ගොස් ටික වේලාවකින් ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. ’’ස්වාමීනි, යම් ඒ භික්‍ෂුවක් කෙළෙසුන් නැතිකළේ. සම්පූර්‍ණ කළ කටයුතු ඇත්තේ, සිව්මඟීන් කළ කටයුතු නිමවූයේ, බහා තබන ලද කෙළෙස් බර ඇත්තේ, පැමිණි යහපත ඇත්තේ, හීන කළ භව බැඳුම් ඇත්තේ, මිදීම මනාකොට දත්තේ (අර්හත්) පූජාවට සුදුසු වේද, උන්වහන්සේට මෙබඳු අදහසක් නොවෙයි. කෙබඳුද? ’මට වඩා ශ්‍රෙෂ්ඨයෙක් හෝ නැත්තේය. මට වඩා සමානයෙක් හෝ නැත්තේය. මට වඩා හීනකයෙක් හෝ නැත්තේය.’’ යනුවෙනි. ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේ මෙය ප්‍රකාශ කළහ. ශාස්තෲන් වහන්සේ අදහසට එකඟවූ සේක.
ඉක්බිති, ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේ මාගේ අදහසට ශාස්තෲන් වහන්සේ එකඟ වූ සේකැයි අස්නෙන් නැගිට බැහැර ගියහ. ඉක්බිති ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේද, සුමන ස්ථවිරයන් වහන්සේද, බැහැර ගොස් ටික වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. ’’මහණෙනි, මෙසේ වනාහි කුල පුත්‍රයෝ (දැනීම) නොහොත් රහත් බව ප්‍රකාශ කරත්. තෙමේ නොපැමිණි අර්ත්‍ථයද දක්වන ලදී. එසේ නමුදු ඇතැම් හිස් පුරුෂයෝ සිනහ වෙන්නාහු, අනිකක් ප්‍රකාශ කෙරෙත්යයි සිතමි. පසුව ඔවුහු විපතට පැමිණෙත්. ’’උසස් පුද්ගලයන් කෙරෙහි නොඑළඹෙත්. හීන පුද්ගලයන් කෙරෙහි නොඑළඹෙත්. සමාන පුද්ගලයා කෙරෙහිද නොඑළඹෙත්. ඒ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ අර්හත් මාර්‍ගයෙන් ක්‍ෂයවූ ජාති ඇත්තීය. වැස නිමවන ලද මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තේ, සියලු සංයෝජනයන් කෙරන් විශෙෂයෙන් මිදුනාහු හැසිරෙත්.’’