අඞ්ගුත්තරනිකායො

සත්තක නිපාතය

පඨමපණ්ණාසකං

6. අව්‍යාකත වර්‍ගය

11. සපත්තකන්ත සූත්‍රය

’’මහණෙනි, සතුරන් ප්‍රිය කරන්නාවූ, සතුරන් ඇතිකරන්නාවූ, මේ ධර්‍ම සතක් ක්‍රොධ කරණ සුළු ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ වෙත්.

’’ඒ සත කවරේද? මහණෙනි, සතුරා සතුරාට මෙසේ කැමතිවෙයි. ඒකාන්තයෙන් මේ තෙම දුර්‍වර්‍ණ වන්නේ නම් යෙහෙක කියායි. එයට හේතු කවරේද? මහණෙනි, සතුරා සතුරාගේ ශරීරයේ පැහැපත් බවට සතුටු නොම වෙයි. මහණෙනි, මේ පුරුෂ තෙම ක්‍රෝධ කරණ සුල්ලෙක් වූයේ, ක්‍රෝධයෙන් මැඩුණ කෙනෙක් වූයේ, ක්‍රෝධයෙන් යුක්ත කෙනෙක් වූයේ, මනාකොට නෑවේ වේද, සුවඳ විලවුන් ගැල්වූයේ වේද, කපන ලද දැලි රැවුල් ඇත්තේ වේද, සුදු (පිරිසිදු) වස්ත්‍ර ඇන්දේ වේද, ඉක්බිති හෙතෙම ක්‍රෝධයෙන් දුර්‍වර්‍ණ වූයේම වෙයි. ’’මහණෙනි, සතුරන් ප්‍රිය කරන්නාවූ, සතුරන් ඇති කරන්නාවූ, මේ පළමුවන ධර්‍මය මෙයින් ක්‍රෝධ කරණ ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ ඇතිවෙයි. මහණෙනි, නැවතද සතුරා සතුරාට මෙසේ කැමති වෙයි. මේ තෙම දුකසේ සයනය කරන්නේ නම් ඉතා යෙහෙක කියායි. එයට හේතු කවරේද? මහණෙනි, සතුරා සතුරාගේ සුඛශෙය්‍යාවම කැමති නොවෙයි. මහණෙනි, මේ පුරුෂයා ක්‍රෝධ ඇත්තේ, ක්‍රෝධයෙන් මැඩුණේ, ක්‍රොධයෙන් යුක්තවූයේ, හුදෙක් හෙතෙම දික් ලොම් ඇති ඇතිරිලිවලින් හෝ ගෙතූ මල් ඇති ඇතිරිලිවලින් යුත් දෙපස රතුවන් කොට්ටා ඇති ඇතිරිලිවලින් හෝ රැලි එල්ලී ඇති ඇතිරිලිවලින් හෝ මුවාදී සතුන්ගේ රූප ගෙතූ ඇතිරිලිවලින් හෝ වසන ලද කවිච්චියක සයනය කෙරේද, ඉක්බිති හෙතෙම ක්‍රෝධයෙන් මඩනා ලද්දේ දුකසේ සයනය කරයි.

’’මහණෙනි, මේ සතුරන් ප්‍රිය කරන්නාවූ, සතුරන් ඇති කරන්නාවූ, දෙවන ධර්‍මය ක්‍රෝධ කරණ සුලු ස්ත්‍රියකට හෝ පුරුෂයකුට ඇතිවෙයි.

’’නැවතද මහණෙනි, සතුරා සතුරාට මෙසේ කැමති වෙයි. මේ තෙමේ බොහෝ අභිවෘද්ධියට නොපැමිණෙන්නේ නම් යෙහෙක කියායි. එයට හේතු කවරේද? මහණෙනි, සතුරා සතුරාගේ බොහෝ අභිවෘද්ධියට සතුටු නොවෙයි. මහණෙනි, මේ පුද්ගල තෙම ක්‍රොධ ඇත්තේ, ක්‍රෝධයෙන් මඩනා ලද්දේ, අයහපත් දෙයක් ගෙන මා විසින් ගන්නා ලද්දේ, යහපත් දෙයක් යයි සිතයි. අයහපත් දෙයක් ගෙන මා විසින් ගන්නා ලද්දේ යහපත් දෙයකැයි සිතයි. ක්‍රෝධයෙන් මඩනා ලද්දාවූ මේ ධර්‍මයෝ අන්යොන්‍ය ප්‍රතිවිරුද්ධව ගන්නා ලද්දේ දිගු කලක් අහිත පිණිස, දුක් පිණිස පවතිත්. මහණෙනි, මේ සතුරන් ඇති කරන්නාවූ, සතුරන් ප්‍රිය කරන්නාවූ, තුන්වන ධර්‍මය ක්‍රොධ කරණ සුලු ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ ඇතිවෙයි.

’’මහණෙනි, නැවතද සතුරා සතුරාට මෙසේ කැමතිවෙයි. මේ තෙමේ භොග සම්පත් ඇති නොවන්නෙක් වේ නම් ඉතා යෙහෙක යනුවෙනි. එයට හේතු කවරේද? මහණෙනි, සතුරා සතුරාට භොග ඇති කල්හි සතුටු නොවෙයි. මහණෙනි, ක්‍රොධ කරණ සුලු, ක්‍රොධයෙන් මැඩුණාවූ, මේ පුද්ගලයාට උත්තාන වීර්‍ය්‍යයෙන් ලබන ලද බාහු බලයෙන් පුරුදු කරණ ලද, ඩහදිය වගුරුවන ලද, ධාර්මිකවු, දැහැමින් ලද්දාවු, ඒ භොගයෝ වෙද්ද, ක්‍රොධයෙන් මැඩුණහුගේ ඒ ධනයන්ද රජවරු තුමූ රාජ කොෂ්ටාගාරයට (-භාණ්ඩාගාරයට) යවත්. මහණෙනි, මේ සතුරන් ඇති කරන්නාවූ, සතුරන් ප්‍රිය කරන්නාවූ, මේ සතරවන ධර්‍මය ක්‍රොධ කරණ සුලු ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ ඇතිවෙයි.

’’මහණෙනි, නැවතද වනාහි සතුරා සතුරාට මෙසේ සිතයි. මේ තෙමේ කීර්ති ඇත්තෙක් නොවන්නේ නම් ඉතා යෙහෙක කියායි. එයට හේතු කවරේද? මහණෙනි, සතුරා සතුරාගේ කීර්තියට සතුටු නොවේ. මහණෙනි, මේ පුද්ගල තෙම ක්‍රොධ ඇත්තේ, ක්‍රොධයෙන් මඩනා ලද්දේ, ක්‍රොධයෙන් යුක්තවූයේ වේද, එබඳුවූ ඔහුගේ අප්‍රමාදයෙන් ලබන ලද යම් ඒ කීර්තියක් වේද, ක්‍රොධයෙන් මඩනා ලද්දේ එයිනුදු නැසෙයි. මහණෙනි, මේ සතුරන් ප්‍රිය කරන්නාවු, සතුරන් ඇති කරන්නාවු, මේ පස්වන ධර්‍මය ක්‍රොධ කරණ සුලු ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ පැමිණෙයි.

’’මහණෙනි, නැවතද වනාහි සතුරාට මෙසේ කැමති වෙයි. මේ තෙමේ මිත්‍රයන් නැත්තෙක් වන්නේ නම් ඉතා යෙහෙක කියාය. එයට හේතු කවරේද? සතුරා සතුරාට මිත්‍රයන් ඇතිවිම ගැන සතුටු නොවෙයි. මහණෙනි, මේ පුද්ගල තෙම ක්‍රොධ ඇත්තේ, ක්‍රොධයෙන් මඩනා ලද්දේ, ක්‍රොධයෙන් යුක්තවූයේ වේද, එබඳුවූ ඔහුගේ යම් මිත්‍රාමාත්‍යයෝ වෙද්ද, නෑ සහ ලේ නෑයෝ වෙද්ද, ඔවුහුද, ක්‍රොධයෙන් මඩනා ලද ඔහු දුරින් දුරු කෙරෙත්. මහණෙනි, සතුරන් ප්‍රිය කරන්නාවු, සතුරන් ඇති කරන්නාවු, මේ සයවන ධර්‍මය ක්‍රොධ කරණ සුලු ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ ඇතිවෙයි.

’’මහණෙනි, නැවතද වනාහි සතුරා සතුරාට මෙසේ සිතයි. මේ තෙමේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදින්නේ නම්, ඉතා යෙහෙක කියායි. එයට හේතු කවරේද? සතුරා සතුරාගේ සුගති ගමනින් නොසතුටු වෙයි. මහණෙනි, මේ පුද්ගල තෙම ක්‍රොධ කරණ සුලු වූයේ, ක්‍රොධයෙන් මඩනා ලද්දේ වේද, හෙතෙම කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. සිතින් දුසිරිතෙහි හැසිරෙයි. හෙතෙම කයින් දුසිරිතෙහි හැසිර, වචනයෙන් දුසිරිතෙහි හැසිර, සිතින් දුසිරිතෙහි හැසිර, ක්‍රොධයෙන් මඩනා ලද හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති, නපුරුසේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. මහණෙනි, මේ සතුරන් ප්‍රිය කරන්නාවු, සතුරන් ඇති කරන්නාවු, සත්වන ධර්‍මය ක්‍රොධ කරණ සුලු ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ ඇතිවෙයි.

’’මහණෙනි, සතුරන් ප්‍රිය කරන්නාවූ, සතුරන් ඇතිකරන්නාවූ, මේ ධර්‍ම සතක් ක්‍රොධ කරණ සුළු ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ වෙත්.

’’ක්‍රෝධ ඇති පුද්ගල තෙම දුර්වර්‍ණ ඇත්තේ වේ. යලිදු හෙතෙම දුකසේ සයනය කරයි. නැවත අර්ත්‍ථය (වැඩීම) ගෙන අනර්ථය මා විසින් ගන්නා ලද්දේ යයි සිතයි.

’’ක්‍රොධයෙන් මැඩුනාවූ පුරුෂ තෙම කයින්ද, වචනයෙන්ද ප්‍රාණඝාත කර්‍ම කොට නැවත ක්‍රොධ ඇත්තේ ධන හානියට පැමිණෙයි.

’’ක්‍රොධ මදයෙන් මත්වුයේ, අයසට පැමිණෙයි. ක්‍රොධය ඇත්තාවූ ඔහු ඥාති මිත්‍රයන් හා මනා සිත් ඇති යහළුවන් දුරු කරත්.

’’ක්‍රොධය තෙම අනර්ත්‍ථය උපදවන්නේය. ක්‍රොධය සිත් කෝප කරවන්නේය. ඇතුළ (තමා සිත්හි) හටගත් ඒ ක්‍රෝධය භයට හේතුවන බැව් ජන තෙම (නුවණැස් නැති හෙයින්) නොදන්නේය.

’’කිපුනු පුද්ගල තෙම යහපත නොදනියි. කිපුනු පුද්ගල තෙම ධර්‍මය නොදක්නේය. ක්‍රෝධය යම් කාලයෙක්හි මිනිසා මඩීද, එකල්හි (ඕහට) ගන අඳුර වේ.

’’කිපුනු පුද්ගල තෙම අපහසුවූ දෙය පහසුවක් මෙන් සම්පාදනය කෙරේද, හෙතෙම ක්‍රොධය පහවූ කල්හි ගින්නෙන් දන ලද්දක්හු මෙන් තැවේ.

’’ක්‍රොධය යම් කලෙක උපදීද, එකල්හි දුම් නගින හෙයින් ධූමාග්නියයි කියන ලද ගින්න මෙන් දුර්වර්ණ මුහුණ ඇති බව ආකාරයෙන් දක්වන්නේය. යම් පරිද්දෙකින් මනුෂ්‍යයෝ කිපෙද්ද, ඔවුන්ට පාපයෙහි ලජ්ජාවක් නොවන්නේය. පාපයෙහි බියක් නොවන්නේය. වචනයෙන්ද ගරුත්‍වයක් නොවන්නේය. ක්‍රොධයෙන් වැඩුණ පුද්ගලයාට කිසි පිහිටක් නොවේ.

’’සමථ විදර්‍ශනා මාර්‍ගයන්ගෙන් වෙන්වූ තැවෙන්නාවූ කටයුතු වෙද්ද, ඒ කර්‍මයන් කියන්නෙමි. එය තත්වූ පරිද්දෙන් අසව්.’’

’’කිපුනු සිතැත්තේ පියා නසයි. කිපුනු සිතැත්තේ සිය මව නසයි. කිපුනු සිතැත්තේ රහතුන් වහන්සේ නසයි. කිපුනු සිතැත්තේ පෘථග්ජනයා නසයි. ’’

’’යම් මවක් විසින් පෝෂ්‍යය කරණ ලද්දාවූ පුරුෂ තෙම ලෝකය දකීද, ජීවිතය දුන්නාවූම ඒ මවද නසයි.

’’කිපුනු පුද්ගල තෙම බොහෝ ජනයන් නසන්නේද, නසනු ලබන්නාවූ ඒ සත්ත්‍වයෝ වනාහි තමාට බඳු උපමා ඇත්තාහ. ආත්මය වනාහි අතිශයින් ප්‍රිය වේ. කිපුනු පුද්ගල තෙම නොයෙක් අරමුණුවල මුළාවූයේ බොහෝ කාරණයන් හේතුකොටගෙන ආත්මය නසයි.

’’කිපුනු පුද්ගල තෙම කඩුවෙන් ආත්මය නසයි. මුලාවූවාහු විෂ අනුභව කෙරෙති. ගෙල වැළලා මැරෙත්. පර්‍වතයෙන් හා කඳු රැලියෙහිද (පැන) මැරෙත්.’’

’’නැසුනාවූ වැඩීම් ඇති තමන් මරණයට පමුණුවන්නාවූද, කර්‍මයන් කරන්නාහු හටගත් ක්‍රොධ ඇත්තේ පිරිහෙන්නේයයි නොදනිත්.’’

’’මෙසේ මෙය ක්‍රොධ ස්වරූපයෙන් මරුහුගේ පාශය වූයේ සිත් නමැති ගුහාවෙහි හෘදය රූපය නිසා පවත්තේය. ඒ ක්‍රෝධය විදර්‍ශනා ප්‍රඥාවෙන්ද, වීර්‍ය්‍යයෙන්ද, (මාර්‍ග සම්‍යක්-) දෘෂ්ටියෙන්ද (යන මේ) දමනයෙන් මනාකොට සිඳින්නේය.’’

පණ්ඩිත තෙම එකම අකුශලයවූ මේ ක්‍රොධය සිඳින්නේය. එපරිද්දෙන්ම අපට නොසතුටු මුහුණ ඇති බව නොවේවායි (සමථ විදර්‍ශනා) ධර්‍මයෙහි හික්මෙන්නේය.’’

’’පහකරණ ලද ක්‍රෝධය ඇති ආයාශ රහිතවු (දැඩි ලෝභය නැත්තාවු) පහකරණ ලද මෝහය ඇති, දැමුනාහු, ක්‍රොධය නසා ආශ්‍රව රහිත වුවාහු, පිරිනිවන් පාත්.’’

හයවන අව්‍යාකත වර්‍ගය නිමි.