සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

8. ඛජ්ජනීය වර්ගය

7. පිණ්ඩොල සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, පෙර විසූ උත්පත්ති පිළිවෙළ සිහිකරන්නාවූ යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නොයෙක් පෙර විසූ උත්පත්ති පිළිවෙළ සිහිකරද්ද, ඒ සියලුදෙනා, උපාදානස්කන්ධ පස හෝ එයින් එක්තරා ස්කන්ධයක් හෝ සිහිකරත්.

“මහණෙනි, ‘අතීතකාලයෙහි මම මෙබඳු රූප ඇත්තෙක් වීමියි’ සිහිකරන තැනැත්තේ රූපයම සිහිකරයි. ‘අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි’, මහණෙනි, මෙසේ හෝ සිහිකරන තැනැත්තේ වේදනාවම සිහිකරයි. අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි’, මහණෙනි, මෙසේ හෝ සිහිකරන තැනැත්තේ සංඥාවම සිහිකරයි. ‘අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි’, මහණෙනි, මෙසේ හෝ සිහිකරන තැනැත්තේ සංස්කාරයන්ම සිහිකරයි. ‘අතීත කාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙක් වීමියි’, මහණෙනි, මෙසේ හෝ සිහිකරන තැනැත්තේ විඥානයම සිහිකරයි.

“මහණෙනි, රූපය කුමකැයි කියව්ද? මහණෙනි, විකාරයට හෙවත් වෙනස්වීමට පැමිණෙනුයි එහෙයින් රූපයයි කියනු ලැබේ. කුමකින් වෙනසට පැමිණෙයිද? සීතයෙන්ද වෙනසට පැමිණෙයි. උෂ්ණයෙන්ද වෙනසට පැමිණෙයි. බඩගින්නෙන්ද වෙනසට පැමිණෙයි. පිපාසයෙන්ද වෙනසට පැමිණෙයි, ඩැහැ ලේ බොන ඇටමැසි, විද ලේබොන මදුරුවා, අව් සුලං සර්පාදී දීර්ඝ ජාතික සතුන්ගේ ස්පර්ශයෙන්ද, වෙනසට පැමිණෙයි. මහණෙනි, වෙනසට පැමිණෙනුයි එහෙයින් වනාහි රූපයයි කියනු ලැබේ.

“මහණෙනි, වේදනාව කුමකැයි කියව්ද? මහණෙනි විඳිනුයි. එහෙයින් වනාහි වේදනාවයයි කියනු ලැබේ. කුමක් විඳීද? සැපද විඳියි. දුකද විඳියි. අදුක්ඛම සුඛයද, (උපෙක්ෂාව) විඳියි. මහණෙනි, විඳිනුයි එහෙයින් වනාහි වේදනාවයයි කියනු ලැබේ.

“මහණෙනි, සංඥාව කුමකැයි කියව්ද? මහණෙනි, හඳුනනුයි එහෙයින් වනාහි සංඥාවයයි කියනු ලැබේ. කුමක් හඳුනාද? නිල්වූ දේ නිල්යයිද, හඳුනයි. කසාවන් දෙය කසාවන් යයිද හඳුනයි. ලෙහෙවන් දෙය ලේවන්යයිද හඳුනයි. සුදු දෙය සුදුයයිද හඳුනයි. මහණෙනි, හඳුනයි හඳුනයිනුයි සංඥාවයයි කියනු ලැබේ.

“මහණෙනි, කුමක් වනාහි සංස්කාරයන්යයි කියව්ද? මහණෙනි, හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද දේ පිළියෙල කරත්. එහෙයින් සංස්කාරයයි කියනු ලැබෙත්. කිනම් හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද්දක් පිළියෙල කරද්ද? හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද රූපය රූපයවීම පිණිස පිළියෙළ කරත්. සංඛතවූ වේදනාව වේදනාව වීම පිණිස පිළියෙළ කරත්. සංඛතවූ සංඥාව සංඥාව වීම පිණිස පිළියෙල කරත්. සංඛතවූ සංස්කාරයන් සංස්කාරවීම පිණිස පිළියෙල කරත්. සංඛතවූ විඥානය විඥානයවීම පිණිස පිළියෙල කරත්. මහණෙනි, සංඛතය (හෙතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද දේ) පිළියෙල කරන හෙයින් සංස්කාරයෝයයි කියනු ලැබෙත්.

“මහණෙනි, කුමක් විඥානයයි කියව්ද? මහණෙනි, විශෙෂයෙන් දැනගනියි. එහෙයින් විඥානයයි කියනු ලැබේ. කුමක් දැනගනීද? ඇඹුල් රසද, විශෙෂයෙන් දනී. තිත්ත රසද විශෙෂයෙන් දනී කුළුරසද විශෙෂයෙන් දනී. මිහිරි රසද විශෙෂයෙන් දනී. කර රසද විශෙෂයෙන් දනී. මිශ්‍ර රසද විශෙෂයෙන් දනී. ලුණු රසද විශේෂයෙන් දනී දිය රසද විශේෂයෙන් දනී. මහණෙනි, මෙසේ වනාහි අරමුණ විශෙෂයෙන් දැනගන්නා හෙයින් විඥානයයි කියනු ලැබේ.

“මහණෙනි! එහිදී ඇසූ පිරූ තැන් ඇති ආර්යශ්‍රාවක තෙමේ මෙසේ සලකයි. ‘මම වනාහි දැන් රූපය නිසා පෙළෙමි. දැන් මම වනාහි පවත්නා රූපය නිසා යම් සේ පීඩාවට පැමිණෙම්ද, එපරිද්දෙන්ම මම අතීත කාලයෙහිද, රූපය නිසා පීඩාවට පැමිණියෙමි. මම වනාහි අනාගත රූපය කෙරෙහිද, කැමති වන්නෙම් නම් දැන් වර්තමාන රූපය නිසා යම්සේ පීඩාවට පැමිණෙම්ද, එපරිද්දෙන්ම මම අනාගත රූපය නිසාද පීඩාවට පැමිණෙන්නෙමියි’ කියායි, හෙතෙමේ මෙසේ සලකා අතීත රූපය කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි. අනාගත රූපය (ගැන) නොකැමැති වෙයි. පවත්නා රූපයෙහි කළකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නැති කිරීම පිණිසද පිළිපන්නේ වෙයි.

“මම වනාහි දැන් වේදනාවෙන් පීඩා විඳිමි. යම්සේ දැන් පවත්නා වේදනාවෙන් පෙළෙම්ද, අතීතයෙහිද මම මෙපරිදිම වේදනාවෙන් පෙළුනෙමි. මම වනාහි අනාගත වේදනාව කැමති වන්නෙම් නම් යම් සේ දැන් පවත්නා වේදනාවෙන් පෙළෙම්ද, එපරිදි මම අනාගත කාලීන වේදනාවෙන් පීඩා විඳින්නෙමියි’ කියා හෙතෙමේ මෙසේ සලකා අතීත වේදනාව කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි. අනාගත වේදනාව (ගැන) නොකැමැති වෙයි. පවත්නා වේදනාව කෙරෙහි කළකිරීමටද, නොඇලීමටද, නැතිකිරීමටද පිළිපන්නේ වෙයි.

“මම වනාහි දැන් සංඥාවෙන් පීඩා විඳිමි. යම්සේ දැන් පවත්නා සංඥාවෙන් පෙළෙම්ද, අතීතයෙහිද මම මෙපරිදිම සංඥාවෙන් පෙළුනෙමි. මම වනාහි අනාගත සංඥාව කැමති වන්නෙම් නම් යම් සේ දැන් පවත්නා සංඥාවෙන් පෙළෙම්ද, එපරිදි මම අනාගත කාලීන සංඥාවෙන් පීඩා විඳින්නෙමියි’ කියා හෙතෙම මෙසේ සලකා අතීත සංඥාව කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි. අනාගත සංඥාව (ගැන) නොකැමැති වෙයි. පවත්නා සංඥාව කෙරෙහි කළකිරීමටද, නොඇලීමටද, නැති කිරීමටද පිළිපන්නේ වෙයි.

“මම වනාහි දැන් සංස්කාරයන් නිසා පීඩා විඳිමි. දැන් (මම) සංස්කාරයන් නිසා යම් සේ පෙළෙම්ද එපරිද්දෙන්ම මම අතීත සංස්කාරයන් නිසා පෙළුනෙමි. මම වනාහි අනාගත සංස්කාරයන් කෙරෙහි සතුටු වන්නෙම් නම්, යම්සේ දැන් පවත්නා සංස්කාරයන් නිසා පීඩා විඳිම්ද, එපරිද්දෙන්ම මම අනාගත සංස්කාරයන් නිසා පීඩා විඳින්නෙමියි’ කියා හෙතෙම මෙසේ සලකා අතීත සංස්කාරයන් කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි. අනාගත සංස්කාරයන් කෙරෙහිද සතුටු නොවෙයි. පවත්නා සංස්කාරයන්හි කළකිරිම පිණිසද, නොඇලීම පිණිසද, නැතිකිරීම පිණිසද, පිළිපන්නේ වෙයි.

‘මම වනාහි දැන් විඥානය නිසා පෙළෙමි. දැන් වනාහි පවත්නා විඥානය නිසා යම් සේ පෙළෙම්ද, එසේම මම අතීත විඥානය නිසාද පීඩාවට පැමිණියෙමි. මම වනාහි අනාගත විඥානය ගැන සතුටුවන්නෙම් නම් දැන් පවත්නා විඥානය නිසා යම් සේ පෙළෙම්ද එපරිද්දෙන්ම මම අනාගත විඥානය නිසාද පීඩාවට පැමිණෙන්නෙමි’ කියායි.

‘හෙතෙම මෙසේ සලකා අතීත විඥානය කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි. අනාගත විඥානයෙහි නො කැමැති වෙයි. පවත්නා විඥානයෙහි කළකිරීම පිණිසද නොඇලීම පිණිසද, නැතිකිරීම පිණිසද පිළිපන්නේ වෙයි.

“මහණෙනි, නුඹලා කුමකැයි සිතන්නහුද, රූපය නිත්‍යය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි අනිත්‍යයි.” “යමක්වනාහි අනිත්‍යයනම් එය දුක් හෝ වෙයිද, සැප හෝ වෙයිද?” “ස්වාමීනි දුකය,” “යමක් වනාහි අනිත්‍යයද, දුක් ද පෙරලෙනසුලුද, ‘මෙය මාගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුවේද?” “ස්වාමීනි, එය නොවේමය.”

“මහණෙනි, නුඹලා කුමකැයි සිතන්නහුද? වේදනාව නිත්‍යය හෝ වෙයිද, අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යයි.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ වෙයිද, සැප හෝ වෙයිද?” “ස්වාමීනි, දුකය” යමක් වනාහි අනිත්‍යයද, දුක්ද, පෙරලෙන සුලුද, ‘මෙය මාගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුවේද?” “ස්වාමීනි, එය නොවේමය.”

“මහණෙනි, නුඹලා කුමකැයි සිතන්නහුද? සංඥාව නිත්‍යය හෝ වෙයිද, අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යයි.” “යමක් වනාහි අනිත්‍යය නම් එය දුක් හෝ වෙයිද, සැප හෝ වෙයිද?” “ස්වාමීනි, දුකය “යමක් වනාහි අනිත්‍යයද, දුක්ද පෙරලෙන සුලුද, ‘මෙය මාගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි’ දැකීමට සුදුසු වේද?” “ස්වාමීනි, එය නොවේමය.”

“මහණෙනි, නුඹලා කුමකැයි සිතන්නහුද? සංස්කාරයෝ නිත්‍යය හෝ වෙයිද, අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යයි” “යමක් වනාහි අනිත්‍යය නම් එය දුක් හෝ වෙයිද, සැප හෝ වෙයිද?” “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍යයද, දුක්ද, පෙරලෙන සුලුද, ‘මෙය මගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි” දැකීමට සුදුසුවේද?” “ස්වාමීනි, එය නොවේමය.”

“මහණෙනි, නුඹලා කුමකැයි සිතන්නහුද? විඥානය නිත්‍යය හෝ වෙයිද, අනිත්‍යය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යය” “යමක් වනාහි අනිත්‍යය නම් එය දුක් හෝ වෙයිද සැප හෝ වෙයිද?” “ස්වාමීනි, දුකය.” “යමක් අනිත්‍යය නම් දුක නම් පෙරලෙනසුළු නම් ‘එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුවේද?” “ස්වාමීනි, එය සුදුසු නොවේමය.”

“මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි (භික්ෂුව විසින්) අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම් වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතවූද, අනාගතවූද, දැන් පවත්නාවූද, යම්කිසි රූපයක් වේද, ඒ සියලු රූප ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි’ කියා මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දත යුතුයි.

“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරොසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතවූද, අනාගතවූද, දැන් පවත්නාවූද, යම්කිසි වේදනාවක් වේද, ඒ සියලු වේදනා ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මයද නොවෙයි’ කියා මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දත යුතුයි.

“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීත වූද, අනාගතවුද, දැන් පවත්නාවූද, යම්කිසි සංඥාවක්වේද, ඒ සියලු සංඥාවන් එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි’ කියා මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දත යුතුයි.

“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීත වූද, අනාගතවූද, දැන් පවත්නාවූද, යම්කිසි සංස්කාරයෝ වෙත්ද, ඒ සියලු සංස්කාරයෝ ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මයද නොවෙයි’ කියා මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දත යුතුයි.

“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතවූද, අනාගතවූද, දැන් පවත්නාවූද, යම්කිසි විඥානයක් වේද, ඒ සියලු විඥානය ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි’ කියා මෙසේ මෙය තත්වූ පරිදි මනා නුවණින් දත යුතුයි.

“මහණෙනි, මේ ආර්යශ්‍රාවකතෙමේ (සසර පැවැත්ම) විනාශ කරන්නේයයි කියනු ලැබේ. රැස් නොකරන්නේය, දුරුකරන්නේය. අල්වා නොගන්නේය, විසුරුවා හරින්නේය, එකතු නොකරන්නේය, නිවන්නේය, නොදල්වන්නේයයි කියනු ලැබේ.

“කුමක් විනාශ කරයිද, රැස් නොකරයිද? රූපය විනාශ කරයි. රැස් නොකරයි. වේදනාව විනාශ කරයි, රැස්නොකරයි. සංඥාව විනාශ කරයි, රැස් නොකරයි. සංස්කාරයන් විනාශකරයි, රැස් නොකරයි. විඥානය විනාශ කරයි, රැස්නොකරයි. කුමක් දුරුකරයිද, අල්වානොගනීද? රූපය දුරුකරයි, අල්වා නොගනියි. වේදනාව දුරුකරයි, අල්වා නොගනියි. සංඥාව දුරුකරයි, අල්වා නොගනියි. සංස්කාරයන් දුරුකරයි, අල්වානොගනියි. විඥානය දුරුකරයි, අල්වා නොගනියි කුමක් විසුරුවාහරියිද, එකතු නොකරයිද? රූපය විසුරුවා හරියි, එකතු නොකරයි. වේදනාව විසුරුවා හරියි. එකතු නොකරයි. සංඥාව විසුරුවා හරියි, එකතු නොකරයි. සංස්කාරයන් විසුරුවා හරියි, එකතුනොකරයි. විඥානය විසුරුවා හරියි, එකතු නොකරයි. කුමක් නිවයිද, නොදල්වයිද? රූපය නිවයි, නොම දල්වයි. වේදනාව නිවයි, නොම දල්වයි. සංඥාව නිවයි, නොම දල්වයි. සංස්කාරයන් නිවයි, නොම දල්වයි. විඥානය නිවයි, නොම දල්වයි.

“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්යශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන් කෙරෙහිද කලකිරෙයි. විඥානය කෙරෙහිද කලකිරෙයි. කලකිරුනේ නොඇලෙයි. නොඇලීමෙන් (කෙළෙසුන් කෙරෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුනෙමියි යන නුවණ පහළවෙයි. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්යාවෙහි වැස නිමවන ලද්දේය. කටයුතුකොට නිමවන ලද්දේය. මේ ආත්මභාවයෙහි කෙලෙසුන් දුරුකරනු පිණිස කළයුතු අනිකක් නැත්තේයයි” දනියි.

“මහණෙනි, මේ භික්ෂුතෙමේ රැස් කරන්නේද නොවේ. විනාශ කරන්නේද නොවේයයි කියනු ලැබේ. විනාශ කොට සිටියේ වෙයි. දුරුකරන්නේද නොවෙයි. අල්වා ගන්නේද නොවෙයි. දුරුකොට සිටියේ වෙයි. විසුරුවන්නේද නොවෙයි. එකතු කරන්නේද නොවෙයි. විසුරුවා සිටියේ වෙයි. නිවන්නේද නොවෙයි. දල්වන්නේද නොවෙයි. නිවා සිටියේ වෙයි යනුයි.

“කුමක් රැස් නොකරන්නේද, කුමක් විනාශ නොකරන්නේද, කුමක් විනාශකොට සිටියේද? රූපය රැස් නොකරයි. නොම විනාශ කරයි. විනාශකොට සිටියේ වෙයි.

“වේදනාව රැස් නොකරයි. නොම විනාශ කරයි. විනාශ කොට සිටියේ වෙයි.

“සංඥාව රැස් නොකරයි. නොම විනාශ කරයි. විනාශ කොට සිටියේ වෙයි.

“සංස්කාරයන් රැස් නොකරයි. නොම විනාශ කරයි. විනාශකොට සිටියේ වෙයි.

“විඥානය රැස් නොකරයි. නොම විනාශ කරයි. විනාශ කොට සිටියේ වෙයි.

“කුමක් දුරු නොකරයිද, අල්වා නොගනීද, දුරුකර සිටියේද? රූපය නොම දුරුකරයි. නොම අල්වා ගනියි. දුරුකර සිටියේ වෙයි.

“වේදනාව නොම දුරුකරයි. නොම අල්වාගනියි. දුරුකර සිටියේ වෙයි.

“සංඥාව නොම දුරුකරයි. නොම අල්වාගනියි. දුරුකර සිටියේ වෙයි.

“සංස්කාරයන් නොම දුරුකරයි. නොම අල්වා ගනියි. දුරුකර සිටියේ වෙයි.

“විඥානය නොම දුරුකරයි. නොම අල්වා ගනියි. දුරු කර සිටියේ වෙයි.

“කුමක් නොම විසුරුවයිද, නොම එකතු කරයිද? විසුරුවා හැර සිටියේ වෙයිද?

“රූපය නොම විසුරුවයි. නොම එකතුකරයි. විසුරුවා සිටියේ වෙයි.

“වේදනාව නොම විසුරුවයි. නොම එකතුකරයි. විසුරුවා සිටියේ වෙයි.

“සංඥාව නොම විසුරුවයි නොම එකතු කරයි. විසුරුවා සිටියේ වෙයි.

“සංස්කාරයන් නොම විසුරුවයි. නොම එකතුකරයි. විසුරුවා සිටියේ වෙයි,

“විඥානය නොම විසුරුවයි. නොම එකතුකරයි. විසුරුවා සිටියේ වෙයි.”

“කුමක් නොනිවයිද? කුමක් නොම දල්වයිද? නිවාසිටියේ වෙයිද?”

“රූපය නොම නිවයි. නොම දල්වයි. නිවා සිටියේවෙයි.

“වේදනාව නොම නිවයි. නොම දල්වයි. නිවා සිටියේ වෙයි.

“සංඥාව නොම නිවයි. නොම දල්වයි. නිවා සිටියේ වෙයි. “සංස්කාරයන් නොම නිවයි. නොම දල්වයි. නිවා සිටියේ වෙයි.

“විඥානය නොම නිවයි. නොම දල්වයි. නිවා සිටියේ වෙයි.

“මහණෙනි, මෙසේ කෙළෙසුන් කෙරෙන් මිදුනු සිත් ඇති භික්ෂුව ශක්‍රයා සහිතවූ බ්‍රහ්මයා සහිතවූ ප්‍රජාපතී සහිතවූ දෙවියෝ දුරදීම නමස්කාර කරත්. (කෙසේද?)

“නුඹවහන්සේ යමක් (යම් ආර්යවංස ප්‍රතිපදාවක්) සඳහා සිතන්නෙහිද, යමකට කැමති වන්නෙහිද, එය අපි නොදනිමු. පුරුෂ ශ්‍රෙෂ්ඨයන් වහන්ස, ඔබට නමස්කාර වේවා. පුරුෂොත්තමයන් වහන්ස, ඔබට නමස්කාරවේවා” කියායි.

(හත්වෙනි පිණ්ඩොල සූත්‍රය නිමි.)