සංයුත්තනිකායො
මහා වර්ගය
3. සතිපට්ඨාන සංයුත්තය
2. නාලන්දා වර්ගය
4. උක්කවෙලා සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන තෙරුන් දෙනම පිරිනිවන් පෑ නොබෝ දිනකින් මහත් භික්ෂු සංඝයා සමග වැදෑරට උක්කවෙලා නුවර සමීපයෙහිවූ ගඩ්ගා නදී තීරයෙහි වැඩ වාසය කරන සේක. එකල භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද්දාවූ භාග්‍යවතුන් වහන්සේ එලිමහනෙහි වැඩ සිටි සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ භික්ෂු සංඝයා බලා භික්ෂූන් ඇමතු සේක.
“මහණෙනි, සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම පිරිනිවන්පෑ කල්හි පිරිස හිස්වූවක් මෙන් හැඟේ. යම් දිසාවක සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වසත්නම් ඒ දිශාව නොසිස්ය. මා විසින් ඒ දිසාව බැලිය යුතු නොවේ. “මහණෙනි, අතීත කාලයෙහි යම් ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා වූවාහුද, මට සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම යම්සේද, එවැනිම ශ්‍රාවක යුගලයක් ඒ භාග්‍යවතුන් වහන්සේලාටද වූහ. මහණෙනි, අනාගත කාලයෙහි යම් ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා වන්නාහුද මට සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම යම්සේද, එවැනිම ශ්‍රාවක යුගලයක් ඒ භාග්‍යවතුන් වහන්සේලාටත් වන්නාහ. මහණෙනි යම් ශ්‍රාවක කෙනෙක් ශාස්තෲන් වහන්සේට සමානවම ත්‍රිවිධ සාසනය සම්පූර්ණ කරන්නාහුද අවවාදයට අනුව පිළිපදින්නාහුද, සිව් පිරිසට ප්‍රිය මනාප වන්නාහුද, ගරු කටයුතු බවට පැමිණෙන්නාහුද එය ශ්‍රාවකයන්ගේ ආශ්චර්යයක් වෙයි. ශ්‍රාවකයන්ගේ අද්භූතයෙක් වෙයි. මෙවැනි ශ්‍රාවක දෙනමක් පිරිනිවන් පෑ කල්හි පවා තථාගතයන් වහන්සේට සෝකයක් හෝ වැළපීමක් හෝ නැත. එය තථාගතයන් වහන්සේගේ ආශ්චර්යය කාරණය අද්භූත කාරණය වෙයි.
යම් ඒ උපන්නාවූ පහළවූ හේතු ප්‍රත්‍යයෙන් නිපන්නාවූ විනාශවන සුළු දෙයක් වේද, එය ඒකාන්තයෙන් නැති නොවේවා යන මෙය කොයින් ලැබේද ඊට කරුණු නැත. මහණෙනි, යම්සේ සාරවත් මහත් ගස තිබියදී එහි අතිශයින් මහත් අතු විනාශ වන්නාහුද, මහණෙනි, එපරිද්දෙන්ම සාරවත් මහත් භික්ෂූ සංඝයා සිටියදී සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම පිරිනිවන් පෑහ. මහණෙනි, යම් ඒ උපන් හටගත් හෙතු ප්‍රත්‍යයෙන් නිපන් විනාශවනසුළු යමක් වේද, එය ඒකාන්තයෙන් විනාශ නොවේවා යන මෙය කොයින් ලබන්නේද ඊට හේතු නැත. එබැවින් තමා ආලෝකයක් කොට තමා පිහිට කොට අනිකක් පිහිට නොකොට වාසය කරව්. ධර්මය ආලෝකයක් කොට ධර්මය සරණකොට අනිකක් පිහිට නොකොට වාසය කරව්.
මහණෙනි, මහණ තෙමේ කෙසේනම් තමා ආලෝකයක් කොටගෙන තමා පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මය පිහිට කොටගෙන අනිකක් පිහිට කොට නොගෙන වාසය කරන්නේද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලොභයද ක්‍රොධයද සංසිඳවාගෙන කයෙහි කය අනුව දකිමින් වාසය කෙරේද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලොභයද ක්‍රොධයද සංසිඳවාගෙන වෙදනාවෙහි වෙදනාව දකිමින් වාසය කෙරේද,
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලොභයද ක්‍රොධයද සංසිඳවාගෙන සිත් කෙරෙහි සිත් අනුව දකිමින් වාසය කෙරේද,
“මහණෙනි, මේ ශාසනයේ මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලොභයද ක්‍රොධයද සංසිඳවාගෙන නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව දකිමින් වාසය කෙරේද,
“මහණෙනි, මෙසේ වනාහි මහණතෙම තමා ආලෝකයක් කොටගෙන තමා පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මය ආලෝකයක් කොට ගෙන ධර්මය පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන වාසය කරන්නේ වෙයි.
මහණෙනි යම් කිසිවෙක් දැන් හෝ මගේ ඇවෑමෙන් හෝ තමා ආලෝකයක් කොටගෙන තමා පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන ධර්මය ආලොකයක් කොට ගෙන ධර්මය පිහිට කොට ගෙන අනිකක් පිහිට කොට නොගෙන වාසය කරන්නාහුද ඔව්හුම අතිශයින් අග්‍ර වූවාහුද වෙත්. ඔව්හුම ශික්ෂාකාමී වූවාහුද වෙත්.