ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

26. ථොමක වග්ග

7. මඤ්ජරී පූජක ථෙරාපදානය

’’මම මදිටි මල් ගොටුවක් කොට වීදියට පිවිසියෙමි. (එහිදී) භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලද ශ්‍රමණයන්ට අග්‍රවූ බුදුරජාණන් වහන්සේ දුටිමි.

’’උතුම් ප්‍රීතියෙන් පහන් සිත් ඇත්තේ, සොම්නස් වූයේ, දෝතින් ගෙන බුදුරජුන් හට පිදීමි.

’’මින් දෙයානූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.

’’මින් තෙසැත්තෑවන කපෙහි පෘථිවීශ්වරවූ, මහත් බල ඇති ජොතිය නම් සක්විති රජෙක් වීමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මඤ්ජරීපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

මඤ්ජරිපූජකත්ථෙරස්සාපදානං සත්තමං.