ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
29. පණ්ණදායක වග්ග
3. පච්චුග්ගමනිය ථෙරාපදානය
’වනයෙහි (එකලාව) හැසිරෙන්නාවූ සිංහයෙකු මෙන් ශ්‍රේෂ්ඨ ආජානීයයෙකු මෙන්ද, බබලන්නාවූ කුඹුක් ගසක් මෙන්ද, (ක්ලේශ රෝගයෙන් පෙළෙන) එකල ලෝකයාට වෛද්‍යවරයෙකු මෙන්ද, ලොව බබුළුවන්නාවූ, නරශ්‍රේෂ්ඨවූ (ඉදිරියට) වඩින සිදුහත් බුදුරජුන් (දැක) පැහැදි සිතින් පෙර ගමන් කෙළෙමි.
’’මින් එක් අනූවන කපෙහි බුදුරජුන්හට පෙරගමන් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පෙර ගමන් කිරීමෙහි මේ විපාකයයි.
’’මින් සත් විසිවෙනි කපෙහි ජනාධිපතිවූ, මහත් බල ඇති සපරිවාර නම් සක්විති රජෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පච්චුග්ගමනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පච්චුග්ගමනියත්ථෙරස්සාපදානං තතියං.