ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

30. චිතකපූජක වග්ග

7. දෙසකිත්තක ථෙරාපදානය

’’එකල්හි මම ’’උපසාල්හක’’ නම් බමුණෙක් වීමි. මහ වනයට පිවිසි, ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ, ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ බුදුරජුන් දැක ශ්‍රීපාදයන් වැන්දෙමි. පහන් සිත් ඇති මා ගැන දැන බුදුරජ තෙම අතුරුදන් විය.

’’වනයෙන් නික්ම බුද්‍ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි. (බුදුරජුන් වැඩමවූ) එම දෙසට පසසා මම කල්පයක් මුළුල්ලෙහි සවර්‍ගයෙහි සතුටුවීමි.

’’මින් දෙයානූවන කපෙහි බුදුරජුන් වැඩමවූ යම් දෙසකට පැසසූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පැසසීමෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් දෙසකිත්තක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

දෙසකිත්තකත්ථෙරස්සාපදානං සත්තමං.