ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
32. ආරක්ඛදායක වග්ග
6. ආසනත්‍ථවික ථෙරාපදානය
’’ලෝක බන්ධුවූ සිඛී බුදුරජුන්ගේ ’’උත්තම’’ නම් චෛත්‍යයක් විය. එකල්හි මම ජන සඤ්චාර විරහිත මහ වෙනෙහි මංමුලාවූයේ (ඒ මේ අත) හැසිරෙමි.
’’වනයෙහි නික්ම (යන) මා විසින් (එම බුදුරජුන්ගේ) ශ්‍රේෂඨ බුද්‍ධ ශාසනය දක්නා ලදී. (උතුරු සළුව) එකස්කොට, ඇඳිලි බැඳ, ලෝක නායකවූ බුදුරජුන්හට ස්තූති කෙළෙමි.
’’ලෝකයෙහි අසහාය නායකවූ බුදුරජුන්හට දිවා (දවල් කාලය මුළුල්ලෙහි) ස්තූතිකොට සොම්නස්වූයේ, සොම්නස්වූ සිතින්ම මෙම වචන කීමි. (එනම්)
’’පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ලෝක ජ්‍යෙෂ්ඨයන් වහන්ස, නර ශ්‍රේෂ්ඨයන් වහන්ස, මහා වීරයන් වහන්ස, (ඔබ) සර්‍වඥ වෙහිද කියායි.
’’මම බුද්ධාසනය නිමිති කිරීමෙන් සුඛී බුදුරජුන්ට ස්තූති කොට (එම) බුද්‍ධාසනයට වැඳ, උතුරු දිගට මුහුණ ලා ගියෙමි.
’’මින් එක් තිස්වන කපෙහි බුදුරජුන්හට ස්තූති කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ස්තූති කිරීමෙහි මේ විපාකයයි.
’’මින් සත් විසිවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති, අතුල්‍ය නම් සක්විති රජකෙනෙක් වූහ.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආසනත්‍ථවික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ආසනසන්ථවිකත්ථෙරස්සාපදානං ඡට්ඨං.