ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

32. ආරක්ඛදායක වග්ග

9. කාන්දලි පුප්ඵිය ථෙරාපදානය

’’එකල්හි මම සින්ධු නදී තීරයෙහි අනුන්ගේ මෙහෙ කිරීමෙහි යෙදුනු ගොවියෙක් වීමි. අනුන්ගෙන් ලැබෙන වැටුපක් නොදක්නේ සින්ධු ගං ඉවුරු දිගේ ගමන් කරන්නාවූ මම පිපුනු නෙළුම් මලක් මෙන් සමාධියෙන් යුතුව හුන් සිදුහත් බුදුරජුන් දිටිමි.

’’මම එලක්හි කඳල මල් සතක් නටුවෙන් කඩා අදිත්‍ය බන්ධු (සූර්‍ය්‍ය වංශයෙහි) වූ බුදුරජුන්ගේ සිරසෙහි (උඩට) දැමීමි.

’’සුදුසු තන්හි හෙවත් සුදුසු අරමුණෙහි එකඟවූ සිත් ඇති ස්වර්‍ණ වර්‍ණවූ ත්‍රිමදගලින හස්ති රාජයෙකු වැනිවූ (ගුණයෙන් කිසිවෙකු විසින්) ලංවිය නොහැක්කාවූ,

’’ප්‍රඥාවත්වූ වඩන ලද ඉඳුරන් ඇති ඒ බුදුරජුන් වෙත එළඹ මම ශාස්තෘන් වහන්සේට ඇඳිලි බැඳ වැන්දෙමි.

’’මින් සිව් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කාන්දලී පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

කන්දලිපුප්ඵියත්ථෙරස්සාපදානං නවමං.