ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

33. උම්මා පුප්ඵිය වග්ග

2. පුලින පූජක ථෙරාපදානය

’’බබලන්නාවූ කුඹුක් ගසක් වැනිවූද, ශ්‍රේෂ්ඨ ආජානීයයෙකු මෙන්වූද, ඕසධි තාරකාව මෙන් දිලිසෙන බබලන්නාවූ, නරශ්‍රේෂ්ඨ බුදුරජුන් දිටිමි.

’’(දැක) මම ශාස්තෲන් වහන්සේට ඇඳිලි බැඳ වැන්දෙමි. බුදුරජුන්ට පැසසීමි. ස්වකීය පුණ්‍ය කර්‍මයෙන් සතුටුවූයේ, පිරිසිදු වැලි ගෙන ඔඩොක්කුවෙහි ලා ගෙන ගොස් විපස්සී බුදුරජුන් වැඩිය මගෙහි දැමීමි.

’’ඉක්බිති පැහැදි සිතින් ඉන් අඩක් වැලි බුදුරජුන් දවල් කල වෙසෙන දිවා විහාරස්ථානයෙහි තාදී ගුණ ඇති තථාගතයන් වහන්සේට පූජාවක් ලෙස ඉසීමි.

’’මින් එක් එක් අනූවන කපෙහි මම යම් වැලි ඉසීමක් කෙළෙම්ද. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වැලි ඉසීමෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලින පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

පුලිනපූජකත්ථෙරස්සාපදානං දුතියං.