ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

34. ගන්‍ධධූපිය වග්ග

4. එකදුස්සදායක ථෙරාපදානය

’’(එකල්හි මම) හංසවතී නගරයෙහි තෘණහාරකයෙක් (තණ කපා එකතුකොට විකුණන්නෙක්) වීමි. තණ එක්කොට විකිණීමෙන් කරණ තෘණහාරක කර්‍මයෙන් ජීවත් වෙමි. එයින්ම (අඹු) දරුවන්ද පොෂණය කරමි.

’’සියළු ධර්‍මයන්ගෙන් පරතෙරට ගියාවූ, ලෝක නායකවූ පදුමුත්තර බුදුරජතෙම (මොහ නමැති) ගණදුර නසා (ලොව) පහළවිය.

’’මම එකල්හි ස්වකීය ගෘහයෙහි හිඳ මෙසේ සිතීමි. (කෙසේදයත්?) බුදුරජතෙම ලොව පහළවිය. මට උන්වහන්සේහට දියයුතු දෙයක්ද නැත.

’’මේ මාගේ එකම සළුවයි. මට කිසි දායකයෙක් (දෙන කෙනෙක්) නැත. නිරයෙහි ස්පර්‍ශය දුකය. දක්‍ෂිණාවක් දානමය චේතනාව නමැති කුසල් බිජුවක් රෝපනය කරන්නෙමි. (හිඳුවන්නෙමි) කියායි.

’’මම මෙසේ සිතා සිය සිත පැහැදවීමි. මම (ඒ) එකම වස්ත්‍රය ගෙන බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.

’’එම එකම වස්ත්‍රය දී අත්පොලසන් හඬ පැවැත්වීමි. ඉදින් වීරයන් වහන්ස, ඔබ වහන්සේ බුදුවරයෙක් වන සේක් නම්, මහා මුනීන් වහන්ස, මා සසර සයුරින් එතර කරනු මැනවයි කීමි.

’’ලෝකයාගේ පූජාවන් පිළිගත්තාවූ පදුමුත්තර බුදුරජ තෙම මාගේ දානය පසසමින් මට අනුමෝදනාවක් කළ සේක. (කෙසේදයත්)

’’මෙම එකම වස්ත්‍ර දානය කරණකොට ගෙනද කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නොයයි.

’’ශක්‍ර දෙවෙන්‍ද්‍රව සතිස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. දෙතිස් වරක් සක්විති රජ වන්නේය.

’’(කරන ලද) ප්‍රදේශ රාජ්‍යය මෙතෙකැයි ගණන් වශයෙන් ගිණිය නොහැකිය.

මිනිස් ලොව හෝ දෙව්ලොව හෝ සැරිසරන්නේ, රූමත්, ගුණවත්, නොමඬනා ලද සිරුරු ඇති, නොකැළඹිය හැකි, අපමණවූ වස්ත්‍ර සම්පත් සිත්වූ පරිදි ලබන්නෙමි කියායි.

’’ප්‍රාඥවූ පදුමුත්තර නම් බුදුරජතෙම මෙම වචන වදාරා, ආකාශයෙහි යන හංස රාජයෙකු මෙන් අහසට නැගුණහ.

’’දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ, යම් යම් යෝනියක උපදිම්ද, (එකල්හි) මාගේ භෝග සම්පත්තියෙහි අඩු බවක් නැත. එක වස්ත්‍ර දානයෙහි මේ විපාකයයි.

’’පියවරක් පියවරක් පාසා මට වස්ත්‍ර පහළවේ. වස්ත්‍ර යට (වියන් යට) සිටිමි. මාගේ හිස මතුයෙහි (නිරතුරුවම) වියනක් වේ.

’’වන සහිත පර්‍වත සහිතවූද, චක්‍රවාට පර්‍වතය පටන්කොට ඇති ඒ සියල්ල මම කැමතිවන්නේ නම් වස්ත්‍රයන්ගෙන් වසන්නෙමි.

’’එකම එක වස්ත්‍රයක් පිදීමෙහි විපාකය වශයෙන් කුදු මහත් භවයෙහි සැරිසරන්නේ, එම සැරිසරන කුදු මහත් භවයෙහි ස්වර්‍ණවර්‍ණවම සැරිසරමි.

’’එක වස්ත්‍රයක් දීමෙන් ලද ඒ විපාකය කිසි තැනෙක්හි අවසන් බවට නොයයි. මාගේ මේ අන්තිම ජාතියයි. එහිදු එම කුශලය විපාක දෙයි.

’’මින් කල්ප ලක්‍ෂයකට පෙර වූ කල්හි යම් වස්ත්‍ර දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. එක වස්ත්‍රයක් දීමෙහි විපාක මෙයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. බැමි සිඳගත් හස්ති රාජයෙකු මෙන් ආශ්‍රව රහිතව වෙසෙමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකදුස්සදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

එකදුස්සදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.