ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
34. ගන්‍ධධූපිය වග්ග
5. ඵුසිතකම්පිය ථෙරාපදානය
’’එකල්හි ලෝකජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ විපස්සී බුදුරජ තෙම රහතුන් විසින් පිරිවරණ ලදුයේ සංඝාරාමයෙහි විසූහ.
’’ලෝක නායකවූ විපස්සී බුදුරජතෙම අට ලක්‍ෂයක් රහතුන් සමග අරම් දොරින් නික්ම (වඩිනු දුටිමි.)
’’(එකල) අඳුන් දිවි සම් පෙරවි, වැහැරි සිවුරු දරන්නාවූ මම කුසුම්භ මල් (තම්බා ගත් වර්‍ණවත්) දිය ගෙන සම්බුදු රජුන් වෙත එළඹියෙමි.
’’මම සිය සිත පහදවා සතුටුවූයේ, කරණ ලද ඇඳිලි ඇත්තේ, කුසුම්භපුෂ්ප තම්බා ගත් වර්‍ණවත් ජලය බුදුරජුන් උදෙසා උඩට ඉසීමි.
’’එම කර්‍මය කරණකොටගෙන (පැහැදුනු) පදුමුත්තර නම් සර්‍වඥ තෙම මාගේ ඒ කුශල කර්‍මයට පසසා කැමති පිරිදි වැඩමවූහ.
’’මම එකල්හි යම් හෙයකින් එම වර්‍ණාදකයෙහි බිඳු පන්දහසක් පිදූයෙම්ද, (ඒ හේතුවෙන්) දෙසිය පණස් වරක් දිව්‍ය රාජ්‍යය කරවීමි. (එසේම) මම දෙසිය පණස් වරක් සක්විති රජ වීමි. (ඉක්බිතිවද) විපාක නොදී ඉතිරිවූ කර්‍ම බලයෙන් රහත් බවට පැමිණියෙමි.
’’යම් කලෙක්හි ශක්‍ර දේවේන්‍ද්‍රයා වෙම්ද, එසේම යම් කලෙක්හි මනුජාධිපතිවූ රජ වෙම්ද, මට එම නමම විය. (එනම්) ’ඵුසිත’’ නම් වෙමි.
’’දෙවිවූද, මනුෂ්‍යවූද, මාගේ හාත් පස බඹයක් පමණ තැන වැසි බිඳු වස්නේයි.
’’මාගේ භවයෝ නසන ලදහ. එසේම මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු ආශ්‍රවයන් ප්‍රහීණ කෙළේ (වෙමි.) (වර්‍ණොදක) බිඳු ඉසීමෙහි මේ විපාකයයි.
’’මාගේ සිරුරින් සඳුන් සුවඳුඳට බඳු සුවඳ පැතිරෙයි. මාගේ සිරුරින් විහිදෙන සුවඳ (අර්‍ධකොෂයක්) බඹ පන්සියයක් තන්හි පැතිරේ.
’’පුණ්‍යකර්‍මයට අනුකූලවූ දිව සුවඳ හමයි. එම (දිව) සුවඳ ආඝ්‍රාණයකොට (සියල්ලෝ) ’’ඵුසිත’’ තෙම මෙහි පැමිණියේයයි දැනගනිති.
’’අතු, කොළ, දර, තණ යන මේ දෑ හැම ලෙසින්ම මාගේ අදහස දැනගෙන (මෙන්) (මා ගත්) කෙණෙහි සුවඳ විහිදුවයි.
’’මින් කල්ප ලක්‍ෂයකට පෙර (එම වර්‍ණ ජලයෙහි සඳුන් යොදාගත්) සඳුන් දිය පිදූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (වණෝදක) බිඳු ඉසීමෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵුසිතකම්පිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ඵුසිතකම්පියත්ථෙරස්සාපදානං පඤ්චමං.