ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

34. ගන්‍ධධූපිය වග්ග

6. පභඞ්කර ථෙරාපදානය

’’තාදී ගුණ ඇති, ලෝක ජ්‍යෙෂ්ඨවූ පදුමුත්තර බුදුරජුන්ගේ ස්තූපයක් චණ්ඩ මෘගයන්ගෙන් ගැවසීගත් මහ වනයෙහි විය.

’’චෙත්‍යය වඳිනු සඳහා යාමට කිසිවෙක් සමත් නොවීය. එම චෛත්‍යය තණ, දර, ලිය වෙලුනු බිඳී ගිය එකක් විය.

’’එකල්හි මම පිය මුතුන් පරපුරෙහි (සිටම උරුමව ආ සිරිතට අනුව) වූ වන කාර්මීකයෙක් (වනයෙහි කටයුතු කරන්නෙක්) වීමි.

’’මම එම බුදුරජුන්ගේ (දා නිදන් කළ) සෑය දැක, ඒ කෙරෙහි ගෞරව චිත්තයක් ඉපදවීමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ මෙම සෑය බිඳ වැටුනේ වනයෙහි තිබෙන්නේ වේ.

’’බුද්ධ ස්තූපය පිරිසිදු නොකරවා අන් කටයුතුවල යෙදෙන්නේ නම් (එය) හොඳ-නොහොඳ දන්නවුනට නොහොඳය, නුසුදුසු’’ යයි සිතීමි.

’’මම චෙත්‍යයෙහිවූ තණ (කොළ)ද, දරද, වැල්ද පිරිසිදුකොට (ගලවා දමා) අට වරක් නැවුනේ (උක්කුටිකයෙන්) හිඳ වැඳ ගියෙමි.

’’මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් (සිතින් කළ පැතුම) කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්තියෙන්) ගියෙමි.

’’එහි මට මැනවින් කරණ ලද විමානය රුවන් මුවාය. පැහැ විහිදෙන්නේය. සැට යොදුන් උසය. තිස් යොදුන් පුලුලය.

’’මම තෙසිය වරක් දෙව්රජය කරවීමි. පස්විසි වරක් සක්විති රජ වීමි.

’’මම කුදු මහත් භවයන්හි සැරිසරමින් මහත් භෝග ලැබීමි. මාගේ භෝග සම්පත්තියෙහි අඩු බවෙක් නම් නැත. (චෛත්‍ය) පිරිසිදු කිරීමෙහි මේ විපාකයයි.

’’සිවිකාව (දෝලාව)කින් හෝ ඇතු පිටින් හෝ වනයෙහි ගමන් කරන්නාවූ මට (එහි) මම යම් යම් දිශාවකට යෙම්ද වනයම මට පිහිට ඇති කරයි.

’’(එසේ යන කල්හි) කණුවක් හෝ, කටුවක් හෝ මම ඇසින් නොදකිමි. පුණ්‍ය කර්‍මයාගේ විපාකය හා යෙදුනේ (එම කණු-කටු) තෙමේම ඉවත් වෙයි.

’’කුෂ්ටද (සිරුරෙහි හැදෙන) ගඩ ගෙඩිද, කිලාස නම් කුෂ්ඨ විශෙෂයද, අපස්මාරයද (මීමැස්මොර)ද, විතච්ඡිකා නම් කුෂ්ඨද, දදද, කැසිලිද මට නැත. (චෛත්‍යය) පිරිසිදු කිරීමෙහි මේ විපාකයයි.

’’බුදුරදුන් (ධාතු නිදන්කළ) සෑය පිරිසිදු කිරීමෙහි මට (ලැබුණු) අනික් ආශ්චෛර්‍ය්‍යයකුදු වෙයි. (එනම්) මාගේ සිරුරෙහි හටගත්තාවූ ස්වල්ප මාත්‍ර වූද බිබිලක් ගැන නොදනිමි.

’’බුදුරදුන් (ධාතු නිදන්කළ) සෑය පිරිසිදු කිරීමෙහි මට (ලැබුණු) අනික් ආශ්චෛර්‍ය්‍යයකුදු වෙයි. (එනම්) දිව්‍යවූද, මනුෂ්‍යවූද භව දෙකෙහි පමණක් සැරිසරමි.

’’බුදුරදුන් (ධාතු නිදන්කළ) සෑය පිරිසිදු කිරීමෙහි මට (ලැබුණු) අනික් ආශ්චෛර්‍ය්‍යයකුදු වෙයි. (එනම්) මම හැමතන්හි රුවන් වන් වූයේද, පැහැවන් වූයේද වෙමි.

’’බුදුරදුන් (ධාතු නිදන්කළ) සෑය පිරිසිදු කිරීමෙහි මට (ලැබුණු) අනික් ආශ්චෛර්‍ය්‍යයකුදු වෙයි. (එනම්) මා නොකැමැති දෑ බැහැර වේ. කැමති දෑ එළඹ සිටී.

’’බුදුරදුන් (ධාතු නිදන්කළ) සෑය පිරිසිදු කිරීමෙහි මට (ලැබුණු) අනික් ආශ්චෛර්‍ය්‍යයකුදු වෙයි. (එනම්) මාගේ සිත එකඟවූ, මැනවින් සමාධියට පත්වූ, පිරිසිදු එකක් වේ.

’’බුදුරදුන් (ධාතු නිදන්කළ) සෑය පිරිසිදු කිරීමෙහි මට (ලැබුණු) අනික් ආශ්චෛර්‍ය්‍යයකුදු වෙයි. (එනම්) එක අසුනෙහිම හිඳ රහත් බවට පැමිණියෙමි.

’’මින් සියක් දහස් (ලක්‍ෂයක්) වන කපෙහිවූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සෑය පිරිසිදු කිරීමෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පභඞ්කර තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

පභඞ්කරත්ථෙරස්සාපදානං ඡට්ඨං.