ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

34. ගන්‍ධධූපිය වග්ග

7. තිණකුටිදායක ථෙරාපදානය

’’මම බන්ධුමතී නගරයෙහි අනුන්ගේ බැල මෙහෙ කිරීමෙහි යෙදුනේ, අනුන්ගේ බත් වැටුප් බලාපොරොත්තු වන්නේ, පරකාර්මිකයෙක් හෙවත් අනුන්ගේ බැල මෙහෙවර කරන්නෙක් වීමි.

’’මම එකල්හි රහසිගතව (විවේකයෙන්) හිඳ මෙසේ සිතීමි. (ඒ කෙසේද යත්?) බුදුරජ තෙම ලොව පහළවූහ. මට පිණක්ද නැත.

’’මාගේ පැවැත්ම පිරිසිදු කරගන්නට මේ කාලයයි. මා විසින් (අෂ්ට දුෂ්ටක්‍ෂන විනිර්මුක්ත) සුදුසු මොහොත පිළියෙළකොට (ලැබ) ගන්නා ලදී. පින් නොකළ සතුනට (ලැබෙන) නිරයෙහි පහස දුකය කියායි.

’’මම මෙසේ සිතා මට වැඩ දෙන ස්වාමියා වෙත එළඹියෙමි. මම එක දිනක වැඩ ඉල්වාගෙන වනයට පිවිසියෙමි.

’’මම එකල්හි තණ (කොළ) ද, ලීද, වැල්ද ගෙනවුත් ත්‍රිදණ්ඩකයෙහිද (කතිර සිටින සේ එකට බැඳි දඬු තුනෙහි) තබා මම (එහි) තෘණ කුටියක් කෙළෙමි.

’’මම සංඝයා පිණිස කළ එම කුටිය පිළිගන්වා, එදවස්හිම අවුත් වැඩ දෙන ස්වාමියා (කර්‍ම ස්වාමියා) වෙත එළඹියෙමි.

’’මම මැනවින් කරනලද එම කර්‍මය කරණකොටගෙන තව්තිසා දෙව්ලොවට ගියෙමි. එහි මට (සංඝයාට පිළිගැන්වූ) තෘණකුටිය වෙනුවට මැනවින් කරණ ලද මැවූ (දිව්‍ය) විමානයක් විය.

’’දහසක් කොටස් (බෙදුම්) ඇති, සියයක් ගෝලාකාර මුදුන් ඇති, ධජයන්ගෙන් කොළවන්වූ ඒ මාගේ මහා ප්‍රාසාදයෙහි (විමානයෙහි) සියක් දහසක් දොරටු පහළවූහ.

’’දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ, යම් යම් යෝනියක උපදිම්ද, (ඒ සියලු තන්හි) මාගේ අදහසට අනුව ප්‍රාසාදයක් තිබේ.

’’භයක් හෝ, තැති ගැනීමක් හෝ, ලොමු දැහැ ගැන්මක් හෝ නොවේ. එම භය ආදිය මම නොදනිමි. මෙය තෘණ කුටි දානයෙහි විපාකයයි.

’’සිංහයෝද, ව්‍යාඝ්‍රයෝද, දිවියෝද, වලස්සුද, වෘකයෝද, කළු හිස් ඇති වලස්සුද යන මේ සියලු (වන මෘගයෝ) මා බැහැර කෙරෙත්. තෘණකුටි දානයෙහි මේ විපාකයයි.

’’බඩගා යන සත්තුද, භූතයෝද, සර්පයෝද, කුම්භාණ්ඩයෝද, රකුසෝද යන ඔවුහු මා බැහැර කෙරෙත්. තෘණකුටි දානයෙහි මේ විපාකයයි.

’’මට පවිටු සිහින පෙනුමක් ගැන මම නොදනිමි. මාගේ සතිය (සිහිය) එළඹ සිටියාය. තෘණ කුටි දානයෙහි මේ විපාකයයි.

’’එම තෘණ කුටි දානය හේතුකොටගෙනම සම්පත් අනුභවකොට මම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්‍මයද ප්‍රත්‍යක්‍ෂ (අවබෝධ) කෙළෙමි.

’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. තෘණ කුටි දානයෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණකුටිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

තිණකුටිදායකත්ථෙරස්සාපදානං සත්තමං.