ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

34. ගන්‍ධධූපිය වග්ග

8. උත්තරෙය්‍යදායක ථෙරාපදානය

’’එකල්හි (මම) හංසවතී නගරයෙහි වේද හදාරන්නාවූ, මන්ත්‍ර දරන්නාවූ, වෙදත්‍රයෙහි පරතෙරට ගිය බමුණෙක් වීමි. ඤෆු ු712රැ%

’’මැනවින් හික්මුණු, ජාතිමත් (කුලවත්) වූ මම ස්වකීය ශිෂ්‍යයන් විසින් පෙරටුකරණ ලදුයේ, දිය ඉසීම පිණිස නුවරින් නික්මුණෙමි.

’’සියළු (දතයුතු) ධර්‍මයන්ගේ පරතෙරට ගියාවූ, පස්මරුන් දිනූ, පදුමුත්තර බුදුරජතෙමේ රහතුන් දහසක් සමග නගරයට පිවිසිසේක.

’’නොඇලීමෙන් (තෘෂ්ණා රහිත බැවින්) කරන ලද්දාක් වැනිවූ, අති මනොඥ රූපය ඇති, රහතුන් විසින් පිරිවරන ලද (එම බුදුරදුන්) දැක සිත පැහැදවීමි.

’’හිසෙහි ඇඳිලි බැඳ, මනා ව්‍රත ඇති (බුදුරදුන්හට) වැඳ, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, මම උතුරුසළුව පිදීමි. (කෙසේදයත්)

’’සළුව දොහොතින් ගෙන උඩට දැමීමි. (එම) සළුව යම්තාක් බුදු පිරිසද, ඒතාක් (වියනකින් මෙන්) වැසීය.

’’එකල්හි පිඬු පිණිස හැසිරෙන්නාවූ, ගෘහයෙන් නික්මෙන්නාවූ මහා භික්‍ෂු සංඝයාගේ ආදිමවූ බුදුරදුන්හට

’’සෙවෙනියක් (වියනක්) කරමින් මා සතුටු කරවමින් (එම සළුව) අහසෙහි සිටියේය. සියල්ල තෙමේම අවබෝධ කළාවූ, අග්‍ර පුද්ගලවූ ශාස්තෘ තෙමේ වීථියෙහි සිටියේම මට අනුමෝදනාව කළ සේක.

’’පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, යමෙක් මට සළුවක් පිළිගැන්වූයේද, මම හේ කවරෙක්දැයි කියන්නෙමි. එසේ කියන්නාවූ මාගේ වචනය අසව්.

’’(මෙතෙම) කප් තිස් දහසක් මුළුල්ලෙහි දෙව් ලොව සිත් අලවා වසන්නේය. ශක්‍ර දේවේන්‍ද්‍රව පණස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය.

’’(කරණ ලද) පුණ්‍යකර්‍මයාගේ විපාකයෙන් යුතුවූයේ, දෙව්ලොව වසන්නාවූ මොහුට හාත්පස යොදුන් සියයක් වස්ත්‍ර සෙවෙනියක් (වියනක්) වන්නේය.

’’සත්තිස් වරක් සක්විති රජ වන්නේය. (කරවන්නාවූ) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිනිය නොහැකිය.

’’(කරණ ලද) පුණ්‍යකර්‍මයාගේ විපාකයෙන් යුක්තව භවයෙහි සැරිසරන්නාවූ මොහුට සිතින් පතන ලද සියල්ල එකෙණෙහි නිපදවන්නේය.

’’කොසෙය්‍යද, කම්බිලිද, කොමුපිළිද, කපු පිළිද යන අනගිවන් (වස්ත්‍ර) මේ මිනිස් තෙම (භවයෙහිදී) ලබන්නේය.

’’මේ මිනිස්තෙම සිතින් පතන ලද සියල්ල ලබන්නේය. එක වස්ත්‍රයක් පිදීමේ විපාකය හැමකල්හි අනුභව කරන්නේය.

’’කුශල මූලයෙන් මෙහෙයන ලද හෙතෙම පසුව පැවිදිව ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂ කරන්නේය.’’ කියායි.

’’මහර්ෂිවූ බුදුරජුන් සඳහා මා විසින් මැනවින් කරණ ලද කර්‍මය ආශ්චර්‍ය්‍යයකි. මම එක සළුවක් පුදා ඒ හේතුවෙන් නිවනට පැමිණියේ වෙමි.

’’මඩුවක හෝ, රුක් මුලක හෝ, හිස් ගෙයක හෝ වසන්නාවූ මට හාත්පසින් බඹයක් තන්හි රෙදි සෙවෙනියක් (වියනක්) දරයි.

’’මම නොවිනවන (වචනයෙන් කියා පිළියෙල නොකරවන ලද) සිවුරු හඳිමි. ප්‍රත්‍යද (ලබමි.) ආහාරපානයන්ගේ ලාභියෙක් වෙමි. උතුරුසළු දනෙහි මේ විපාකයයි.

’’මින් සියක් දහස් (ලක්‍ෂයක්) වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් (වස්ත්‍ර පූජාවක්) කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වස්ත්‍ර දානයාගේ මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උත්තරෙය්‍යදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

උත්තරෙය්‍යදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.