ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

35. එකපදුමිය වග්ග

8. තිණමුඨිදායක ථෙරාපදානය

’’හිමවතට නුදුරෙහි ලම්බක නම් පර්‍වතයක් විය. එහි උපතිස්ස නම් බුදුරජ තෙම එලිමහනෙහි සක්මන් කළ සේක.

’’එකල්හි මම මහ වනයෙහි මුව වැද්දෙක් වීමි. (එහිදී) දෙවියනට දෙවිවූ, සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් දිනූ, (එම) බුදුරදුන් දැක,

’’එකල්හි මම පැහැදි සිතින් එම බුදුරදුන්හට වැඩ හිඳීම පිණිස තණ මිටක් දුනිමි.

’’දේවාති දේව වූ බුදුරදුන්හට (එය) දී බෙහෙවින් සිත පැහැදවීමි. (ඉක්බිති) සම්බුදුරදුන් වැඳ, උතුරු දිගට මුහුණ ලා ගියෙමි.

’’එසේ ගිය නොබෝ වේලාවකින් සිංහයෙක් මා පෙළීය. සිංහයා විසින් බිම පෙරළන ලද මම එහි කළුරිය කළේ වෙමි.

’’ආශ්‍රව රහිතවූ, බුද්ධ ශ්‍රේෂඨයන්වූ උන්වහන්සේ විෂයෙහි මරණාසන්නයෙහි මා විසින් කරන ලද කර්‍මය (කරණකොටගෙන) මම දුන්නෙන් මුදන ලද වේගවත් හීයත් මෙන් දෙව්ලොවට ගියෙමි.

’’එහි මාගේ පුණ්‍ය කර්‍මයාගෙන් නිර්මිතවූ ශෝභන ප්‍රාසාදයෙක් විය. එහි දහසක් කොටස් (බෙදුම්) ඇත්තේය. සියයක් ගෝලාකාරවූ මුදුන් ඇත්තේය. (එම මුදුන්වල එල්ලන ලද) ධජද ඇත්තේය. කොළවන් පැහැයෙන් යුක්තය.

’’උදාවූ හිරු මෙන් එම ප්‍රාසාදයාගේ රශ්මියද පැතිරෙයි. මම (එහි) දිව්‍ය කන්‍යාවන් විසින් පිරිවරන ලදුයේ, කැමති පරිදි සතුටුවීමි.

’’එම කුශල කර්‍මයෙන් මෙහෙයන ලදුයේ, දෙව් ලොවින් චුතව අවුත් මිනිස් භවයට පැමිණ ආශ්‍රවක්‍ෂයට පැමිණියේ වෙමි.

’’මම මින් සිව් අනූවන කපෙහි හිඳීමට තණ මිටක් දුනිමි. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. තණ මිටක් දීමෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණමුඨිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

තිණමුට්ඨිදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.