ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

36. සද්ද සඤ්ඤක වග්ග

1. සද්ද සඤ්ඤක ථෙරාපදානය

’’මම පෙර මහ වනයෙහි මුව වැද්දෙක් වීමි. එහිදී දිව්‍ය සමූහයා විසින් පිරිවරනලද, චතුස්සත්‍ය දේශනා කරන්නාවූ, මහාජනයා සසර සයුරින් ගොඩනගන්නාවූ සම්බුදුරදුන් දිටිමි. (දැක කොවුල් හඬට හුරු මිහිරි වචන ඇසීමි.)

’’බ්‍රහ්ම ස්වරය ඇති, ලොක බන්ධූවූ සිඛී බුදුරජුන්ගේ හඬෙහි සිත පහදවා ආශ්‍රවක්‍ෂයට (රහත් බවට) පැමිණියේ වෙමි.

’’මින් එක් තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (බුද්ධ ස්වරයෙහි) පැහැදීමෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සද්දසඤ්ඤකත්ථෙරස්සාපදානං පඨමං.