ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

36. සද්ද සඤ්ඤක වග්ග

2. යවකලාපිය ථෙරාපදානය

’’එකල්හි (මම) අරුණවතී නගරයෙහි යව කෙත් රකින්නෙක් වීමි. මගදී බුදුරජුන් දැක (උන්වහන්සේට වැඩහිඳීම සඳහා) යව (කරල්) මිටියක් (බිම) ඇතිරීමි.

’’අනුකම්පාව ඇති, කාරුණීකවූ සිඛී බුදුරජ තෙම මාගේ අදහස දැන එම (යව) ඇතිරියෙහි වැඩහුන් සේක.

’’එසේ වැඩහුන්නාවූ, නිර්මලවූ, මහා ධ්‍යාන ඇති, අසහාය නායකවූ (බුදුරජුන්) දැක සතුට උපදවා මම එහි කළුරිය කෙළෙමි.

’’මින් සත් තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. යව ඇතිරි දනෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් යවකලාපිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

යවකලාපියත්ථෙරස්සාපදානං දුතියං.