ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
38. බොධිවන්‍දක වග්ග
1. බොධිවන්දක ථෙරාපදානය
’’මම පළාවන්වූ පලොල් ගසක් දැක, එකස්කොට ඇඳිලි බැඳ, එම පළොල් බෝධියට වැන්දෙමි. (පළොල් ගස විපස්සී බුදුරජුන්ගේ බෝධියයි.
’’ඇඳිලි බැඳගෙන, සිතින්ද ගරුකොට, ඇතුළත පිරිසිදුවූ, පිටතද පිරිසිදුවූ, මැනවින් (සියළු කෙළෙසුන්ගෙන්) මිදුනාවූ, ආශ්‍රව රහිතවූ, ලෝවැස්සන් විසින් පුදන ලද, කරුණාවට හා ඥානයට සාගරයක් වැනිවූ, විපස්සී බුදුරජුන් හමුයෙහි මෙන් එම පළොල් ගසට වැන්දෙමි.
’’මින් එක් අනූවන කපෙහි යම් බෝධියකට වැන්දෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වන්‍දනාවෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් බොධිවන්දක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
බොධිවන්දකත්ථෙරස්සාපදානං පඨමං.