ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
38. බොධිවන්‍දක වග්ග
3. තිඋප්පලමාලිය ථෙරාපදානය
’’මම චන්‍ද්‍රභාග නදී තීරයෙහි වඳුරෙක් වීමි. එකල්හි කඳු අතරෙහි වැඩහුන් කෙළෙස් රජස් නැති බුදුරජුන් දුටිමි.
’’සියළු දිගුන් බබුළුවන්නාවූ, පිපුණු සල් රුකක් වැනිවූ, (දෙතිස් මහ පුරිස්) ලකුණින් හා (අසූ) අනුව්‍යඤ්ජනයන්ගෙන් යුත් (උන්වහන්සේ) දැක සතුටුවූ මම,
’’ඔදවැඩි සිත් ඇත්තේ, සොම්නස්වූයේ, ප්‍රීතියෙන් පිනාගිය සිත් ඇත්තේ, උපුල් මල් තුනක් හිස මත (අහසෙහි දමා) පිදීමි.
’’මම ඵුස්ස බුදුරජුන්හට (එම) මල් පුදා, ගෞරව සහිතව උතුරු දෙසට මුහුණ ලා ගියෙමි.
’’පැහැදි සිතින් යුතුව යන්නේ, කඳු අතරෙහි වැටී ජීවිතක්‍ෂයට පත්වීමි.
’’මැනවින් කරණ ලද එම පුණ්‍ය කර්‍මය කරණකොටගෙනද, සිතෙහි ඇතිවූ ප්‍රාර්ත්‍ථනාවන් කරණකොටගෙනද, මම පළමු ජාතිය හෙවත් එම ආත්මය හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
’’තුන්සිය වරක් දිව්‍ය රාජ්‍යය කරවීමි. (එසේම) මම පන්සිය වරක් සක්විති රජ වීමි.
’’මින් දෙයානූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිඋප්පලමාලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
තීණුප්පලමාලියත්ථෙරස්සාපදානං තතියං.