ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

38. බොධිවන්‍දක වග්ග

4. පට්ටිපුප්ඵිය ථෙරාපදානය

’’යම් කලෙක්හි මහර්ෂීවූ පදුමුත්තර බුදුරජ තෙම පිරිනිවන් පෑ සේක්ද, එකල්හි සියළුම මහජනයා එකතුව උන්වහන්සේගේ ශ්‍රී දේහය ගෙන යත්.

’’(එසේ) බෙර වයද්දී ශ්‍රී ශරීරය ගෙය යන කල්හි පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, මම පට්ටි පුෂ්පයක් පිදීමි.

’’මින් සියක් දහස් (ලක්‍ෂයක්) වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ශ්‍රී දේහය පිදූ කල්හි (ලැබෙන මේ) විපාකයයි.

’’බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.

’’මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පට්ටිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

පට්ටිපුප්ඵියත්ථෙරස්සාපදානං චතුත්ථං.