ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

38. බොධිවන්‍දක වග්ග

5. සත්තපණ්ණිය ථෙරාපදානය

’’ලෝකනායකවූ සුමන නම් සම්බුදු රජ තෙමේ ලොව පහළ වූහ. (මම) පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, රුක්අත්තන (මල්) පිදීමි.

’’මින් සියක් දහස් (ලක්‍ෂයක්) වන කපෙහි වූ එකල්හි යම් රුක් අත්තන මල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. රුක්අත්තන මල් පිදීමේ මේ විපාකයයි.

’’බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.

’’මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තපණ්ණිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සත්තපණ්ණියත්ථෙරස්සාපදානං පඤ්චමං.