ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
39. අවණ්ටඵලදායක වග්ග
1. අවණ්ටඵලදායක ථෙරාපදානය
’’සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් දිනූ, භාග්‍යවත්වූ, සතරංසි නම් සම්බුදු රජතෙම, විවේකය කැමති වන්නේ ගොදුරු ගමින් නික්මුන සේක.
’’මම (එසේ නික්මෙන්නාවූ) බුදුරජුන් දැක, ඵල ගත් අත් ඇත්තේ (උන්වහන්සේ වෙත) එළඹියෙමි. පහන් සිත් ඇත්තේ, සොම්නස් වූයේ, නැටි රහිත ගෙඩි වර්‍ගයක් දුනිමි.
’’මින් සිව් අනූවන කපෙහි මම යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
’’බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අවණ්ටඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
අවටඵලදායකත්ථෙරස්සාපදානං පඨමං.